Jul 07, 2020

අද සිට බස් වලටත් ඇප් එකක් Featured

මගී ප්‍රවාහන සේවා පහසු කිරීමේ අරමුණින් සකස් කරන ලද “MyBus-SL“ නම් ජංගම දුරකථන යෙදවුම අද (07) නාරාහේන්පිට ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ දී විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් හඳුන්වා දෙනු ලැබීය.

බස් රථ කාල සටහන, බස් රථයක් ගමන් ගන්නේ නම් එය දැනට පවතින ස්ථානය, ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා බස් ගාස්තුව, කාඩ්පතකින් ගෙවීම සදහා ඇති පහසුව හා  ගමන් ගන්නා බස් රථය පිළිබදව පැමිණිලි කිරීම වැනි දෑ තුලින් මගී ජනතාව සදහා පහසුකම් රැසක් ලබා දී ඇත.

පළමු අදියර යටතේ අන්තර් පළාත් බස් රථ සම්බන්ධව තොරතුරු මෙහි අන්තර්ගත කර ඇති අතර ඉදිරියේ දී ලංගම බස්රථ ඇතුලු අනෙකුත් බස් රථවල විස්තර ද ඇතුලත් කිරිමට නියමිතව තිබේ.

ජාතික ගමනාගමන කොමිසමේ තොරතුරු තාක්ෂණ අංශයේ කාර්ය මණ්ඩලය විසින් මෙම ජංගම දුරකථන යෙදවුම රජයේ මුදල් සත පහක්වත් වියදම් නොකර සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කෘතඥතාවය පළ කොට තිබේ.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මෙවැනි ජංගම දුරකථන යෙදවුමක් ශ්‍රී ලංකාවේ හදුන්වා දෙන පළමු අවස්ථාව මෙය බව හා විවිධ අවස්ථාවන් හිදී බස් ර‍ථ සම්බන්ධව මහජනතාවගේ පැමිණිලි පුද්ගලිකව තමන්ට දැනුම් දෙන බවත් මෙම යෙදවුම ශ්‍රි ලංකාවේ ප්‍රවාහන කේෂ්ත්‍රයේ විප්ලවයක් වනු ඇති බවය.

 මෙම අවස්ථාවට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න, ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම යන මහත්වරු සහභාගී වූහ. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected]kamirror.com දුරකථන - +94 114 546 362

Top