Jul 10, 2020

කොස්ගොඩ තාරකගේ කුඩු ගෝලයා වූ කළු මල්ලීව රඳවා ප්‍රශ්න කිරීමට අවසර (Update)

Update - කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු වන ඊයේ (09) රාත්‍රීයේදී අත්අඩංගුවට පත් වු රොහාන් ප්‍රදීප් නොහොත් කළු මල්ලි නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට අවසර දී තිබේ.

සැකකරු විසින් අපරාධ කිහිපයකට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය පවසා ඇත.

2007දී වෙඩි තබා තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුව, සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ සමයන් සමග පුද්ගලයෙකුට ගිනි අවියකින් පහර දී තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුව,2018දී මයික්‍රෝ පිස්තෝල අවියක කොටසක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා වරදකරු වී දඩයක් නියමවිය, දෙමටගොඩදී නිවසකට ඇතුළු වී පුද්ගලයින් බියබද්දා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය හා මෙවැනි සිදුවීම් කිහිපයකට මොහු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය අනාවරණය කරයි.

Update - (Friday, 10 July 2020 11:15)

----------------------------------------------------------------------------

කොස්ගොඩ තාරකගේ කුඩු ජාලය හසුරවන්නා අල්ලයි

දැනට රිමාන්ඩ් බාරයේ පසුවන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් “කළු මල්ලී“ හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 230ක් සමග ඊයේ (09) රාත්‍රියේ අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත, ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ.

පොලීසි පැවසුවේ ඔහුගේ බැංකු ගිණුමෙහි රුපියල් මිලියන 42.8ක මුදලක් ඇති බවය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top