Jul 10, 2020

රාඩා නඩුවෙන් අලස් නිදහස්

2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටි "රාඩා" ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (10) නියෝග කළේය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රාඩා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනියක ලෙස කටයුතු කළ චන්ද්‍ර කාන්ති ප්‍රනාන්දු නැමැත්තිය නඩුවට පාදක වන ඇතැම් ලේඛනවල මුල් පිටපත් තමන් දැක නොමැති බවත් ඡායාපිටපත් පමණක් තමන් පොලීසිය වෙත භාර දුන් බවත් ප්‍රකාශ කළාය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ, සාක්ෂිකාරිය පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකරන අවස්ථාවේ දැරූ ස්ථාවරයට වඩා වෙනස්, ඊට පටහැනි ස්ථාවරයක් දරන බැවින් ඇය පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකාරියක ලෙස නම් කර සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම සාක්ෂි මෙහෙය වීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම විත්තිකරුවන්ට එරෙහිව තවදුරටත් මෙම නඩුව පවත්වාගෙන නොයන බවටත් පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කරන බවටත් අධිකරණයට දන්වා සිටියේය.

මෙම සාක්ෂිකාරිය සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු පියවර ගැනීමට අපේක්ෂා කරන බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.

එමෙන් ම, ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් වෙත පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය භාරයේ රඳවාගෙන සිටින ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද නියම කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top