මාධ්‍යවේදියාට හිංසා කිරීම මැර වැඩක් ! නාකොටික් රංගජීවට එරෙහිව විමර්ශනයක් කාටූනය - themorning.lk
Jul 11, 2020

මාධ්‍යවේදියාට හිංසා කිරීම මැර වැඩක් ! නාකොටික් රංගජීවට එරෙහිව විමර්ශනයක් Featured

වැඩ තහනමට ලක්ව සිට යළි සේවයේ පිහිටුවා ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියෙකු වන අකිල ජයවර්ධන මහතාට හිංසා කිරීම තිරශ්චීන මැර ක්‍රියාවක් ලෙස හඳුන්වන බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සඳහන් කරයි.

අදාළ මාධ්‍යවේදියා ඊයේ (10) උසාවි භූමියේ රාජකාරියේ නියැළෙමින් සිටින මාධ්‍යවේදියෙකු බව පැවසුව ද එයද නොතකා කැමරාව රුගෙන එහි චිපයද ඉවත් කරගෙන ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පොලිස් නිලධාරියෙකු සිවිල් ඇඳුමින් සැරසී තම බලය අනිසි ලෙස යොදවමින් සිදුකරන ලද මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවද මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවද මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරයි.

සිද්ධිය ගැන විමර්ශනයක්

මහාධිකරණ පරිශ්‍රයේදී තමාගේ ඡායාරූප චිපය ගෙන නියෝමාල් රංගජීව විසින් තමා කොළඹ මහාධිකරණ පොලිස් මුරපොළ වෙත ඇඳගෙන ගොස් එහිදී තමාට තර්ජනය කළ බව සිද්ධියට මුහුණ පෑ පුවත්පත් ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා මහාධිකරණ පොලිස් මුරපොළට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කොළඹ මහාධිකරණ පොලිස් මුරපොළ විසින් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව තිබූ නඩුව ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණයට පැමිණ සිටියදී ඒ අවස්ථාවේදී වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා පැමිණි බවත් කාර්යාලයේ අවශ්‍යතා මත ඔහුගේ ඡායාරූප ගත් විට ඔහු තමාගේ කමීසයෙන් අල්ලා ගෙන තමා මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදීයකු බව කීවත් ඔහු එය ගණනකට නොගෙන මහාධිකරණ පොලිස් මුරපොළ වෙත ඇඳගෙන ගිය බවත් එහිදී නියෝමාල් රංගජීව විසින් තමාට අමානුෂික අන්දමින් සැළකූ බවත් තමාගේ කැමරා චිප් දෙක බලහත්කාරයෙන් ලබාගත් බවත් එහිදී ඔහු පවසා ඇත.

මේ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක උඩුවැල්ල මහතා විසින් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top