Jul 12, 2020

අගුලානේ වෙඩි තැබූ තුනේ වැඩ තහනම් (Update) Featured

මොරටුව ලුනාව ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

මෙසේ වැඩ තහනමක ලක්ව ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු හා කොස්තාපල් රියදුරුවරයෙකුයි.

වැඩබලන පොලිස්පතිවරයා විසින් සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවට අනුව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග මත මෙම තීරණය ගෙන ඇති බව පොලීසිය පවසයි.

--------අවසන් යවත්කාලීන කිරීම (Sunday, 12 July 2020 10:24)

අඟුලානේදී ඔලුවටම වැදුණු පොලිසියේ අවම බලය : දේහය ඥාතීන්ට

මොරටුව ලුනාව ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාගේ හිසට සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් මරණය සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

අදාළ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (11) කළුබෝවිල රෝහලේ දී සිදුකෙරුණි.

පෙරේදා රාත්‍රී 11.45ට පමණ මොරටුව ලුනාව ප්‍රදේශයේ දී අගුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වාහන යොදා මාර්ග පරීක්ෂාවක් සිදුකරනු ලැබීය.

අඟුලාන, ලුනාව ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා පොලීසිය කළ පරීක්ෂාවකදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් සහ පොලීසිය අතර බහින්බස්වීමක් සිදුව තිබුණි.

මේ සම්බන්ධයෙන් සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියකු මාධ්‍යවෙත මෙසේ පවසා තිබේ.

(දර්ශන අනුග්‍රහය - නිවුස් ෆස්ට්)

via ytCropper

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති අතර මියගොස් ඇත්තේ 39 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අදාළ පොලිස් නිලධාරින් බීමත්ව සිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ (11) කියා සිටියේය.

දේහය ඥාතීන්ට - පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණය වාර්තාව අද

මේ අතර, පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයා සම්බන්ධයෙන්, හෙට (13) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවෙන් කළ විනය පරීක්ෂණයේ වාර්තාව අද ලැබීමට නියමිත බවය.

අදාළ පරීක්ෂණය ක්‍රියාත්මක කෙරුණේ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙනි.

එම වාර්තාව පදනම් කරගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

මේ අතර, මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාර දුන් බව පොලීසිය කියා සිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top