Jul 13, 2020

කොරෝනා පැතිරීමක් නෑ, කටකතාවලට රැවටෙන්න එපා Featured

කොරෝනා හෙවත් කොවිඩි - 19 සම්බන්ධයෙන් රටේ අසත්‍ය කතා පැතිරෙමින් ඇති බවද ඒ නිසා ඒවාට රැවටෙන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව හැසිරෙමින් තවදුරටත් සහයෝගය ලබාදීම මහජනතාවගේ වගකීම බවද ඒ මහතා අවධාරණය කළේය.

 සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.  

"කොවිඩි 19 එහෙම පැතිරීමක් නැහැ. හැබැයි ජනතාවගේ අතේ වගකීමක් තිබෙනවා සෞඛ්‍ය නීති රීතිවලට අනුව හැසිරෙන්න. සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන තමන්ගේ කටයුතු ටික කරගෙන යන්න.කොරෝනා කියන්නේ එක පොකුරක් නැතිවෙන කොට තව පොකුරක් ඇතිවෙන විදිහට පැතිරී යන දෙයක්. කොරෝනා ආසාදිත වැලිකඩ පුද්ගලයා හඳුනා ගැනීමත් සමග කන්දකාඩුවල කොරෝනා හඳුනා ගත්තා.

සුදුවැල්ල ප‍්‍රදේශයේ සිට කන්දකාඩු කඳවුරට රැගෙනආ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් රැල්ලක් ඇතිවෙන්න පුළුවන්. මෙවැනි කොරෝනා පොකුරු පාලනය කරන්න නිසි කි‍්‍රයා මාර්ග ගන්න ඕනෑ. එහෙත් ඇතැම් විට පී.සී.ආර්. පරීක්‍ෂණ නෙගටිව් වෙලා පසුව පොසිටිව් වෙන්නත් පුළුවන්.ඒ නිසා සුපිරි ‘අවිය’ වන්නේ නිරෝධායනයයි. සෞඛ්‍ය අංශ, ති‍්‍රවිද හමුදාව, පොලිසිය සමාජයට බැහැලා මේවා වළක්වා ගන්න කටයුතු කරනවා. අපේ රටේ කොවිඩි 19 ඉවරයි කියලා කියන්න බැහැ දැන්මම. නිසිලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා පොකුරු පාලනය කරලා නිරෝධායනයට ලක්වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා රටේ සියලූ දෙනාගේම සහයෝගය අවශ්‍යයි."

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top