Jul 14, 2020

Narcotics කුඩු කේස්වලට DIG කෙනෙක්ගේ නමකුත් ඈඳෙයි ! Featured

රක්ෂිත බන්ධනාගාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අනාවරණ කිරීමට අවසර ඉල්ලා සිටි සිවිල් පුරවැසියන් සිවුදෙනෙකුගෙන් අධිකරණය පැය එකහමාරක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ((Police Narcotics Bureau) මෙරටදී කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව පෙන්වමින් පසුගිය වසරේදී කුඩු කිලෝ දෙසිය අනූහතරක් අත්අඩංගුවට ගැනීම තවත් ජාවාරමක් බවට තොරතුරු හෙළිවෙමින් ඇතැයි පැවසේ.

දැනට කරගෙන යන විමර්ශනවලට අනුව කුඩු විකුණූ නාකොටික් කල්ලියට සම්බන්ධ එස්.ටී.එෆ්. නිලධාරියකු ගැනද හෙළිවී ඇති බව වාර්තාවන අතර තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සම්බන්ධයන්ද සැක පහලව ඇතැයි වාර්තා වේ. 

දැනට රහස් පොලිස් භාරයට ගෙන ඇති බෝට්ටු ස්කිපර්වරයකු හා උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේසුදා දුන් තොරතුරක් මත මෙම කල්ලිය කොළඹදී සාකච්ඡා කර ඉකුත් වසරේ ජනවාරියේදී ස්කීපර් ඇතුළු තිදෙනකු දකුණු මුහුදෙන් ට්‍රෝලරයක යවා ඉරාන යාත්‍රාවකින් කුඩු තොගය ලබාගෙන ඇත.

කුඩු ගෝනි දහඅටක් ඉරාන යාත්‍රාවෙන් ලබාදී ස්කිපර්ගේ ට්‍රෝලරයට ඉන්ධන පවා ලබාදී ඇති බවත්, ඉන්පසුව මාදුගඟ ඔස්සේ බලපිටියේ හෝටලයකට රැගෙන විත් ඇති බවත් අනාවරණය වී ඇත.

නාකොටික් නිලධාරීන් කුඩු ජාවාරමේ කළ බවට අත්අඩංගුවට පත්වන්නේත් බලපිටිය මෙම හෝටලයේම මෙවැනිම කුඩු කිලෝ විසිපහක් රැගෙනවිත් සහල් බෑග්වල අසුරා කොවිඩ් සමයේ වැලිසරට ගෙනවිත් වැටලීමක් කළ බවට කළ ව්‍යාජ රංගනයක් නිසාය.

මෙම සිද්ධීන් දෙකේදීම බෝට්ටුවේ ස්කිපර් වශයෙන් ගොස් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයාය.

මොහු ගෝනි දහඅටක කුඩු තොගය රැගෙන විත් දුන් පසුව නාකොටික් කල්ලියම බේරුවලට ගෙනවිත් දැමූ බව හෙළිවී ඇත. 

චෝදනා එල්ල වන එස්.ටී.එෆ්. නිලධාරියාත් බලපිටියට පැමිණි බව අනාවරණය වී තිබේ.

මෙම කුඩු තොගය බලපිටියේ හෝටලයේ මාසයක් තබාගෙන සිට කොළඹට රැගෙන විත් කුඩා වෑන් රථයකට පටවාගෙන කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකට රැගෙන විත් ඇත. 

එහිදී එම කුඩු තොගය මිලදී ගැනීමට වෙලේසුදා ලවා ගෙන්වා ගත් මොහමඩ් රිලාන් අහමඩ් රුස්නි යන අය ජාවාරම්කරුවකු සේ අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි වාහනයටත් කුඩු දමා ඇතැයි හෙළිවී තිබේ.

වෙලේ සුදාගේ සහයෙන් කුඩු මිලදී ගැනීමට ගෙන්වාගත් පුද්ගලයා කුඩු රැගෙන ආ ආකාරයට මෙම වැටලීම සිදුකර එය එවකට සිදුකළ විශාලතම වැටලීම බව පෙන්වා දී තිබේ. 

රුපියල් බිලියන තුනකට අධික කුඩු කිලෝ දෙසිය අනූහතරක් සමග ජාවාරම්කරුවන් දෙදෙනකු හා වාහන දෙකක් අල්ලාගත් බව පසුගිය වසරේ පෙබරවාරි 23 වැනිදා මෙම වැටලීමේදී හෙළි කෙරිණි.

මෙම වැටලීම හා හාල් මලුවල සඟවා රැගෙන ආ කුඩු කිලෝ දෙසිය විසිහතර නාකොටික් කල්ලිය සන්තකයේ නීති විරෝධී ලෙස කාලයක් සඟවා තබා ගැනීම හා ඒ අතරින් කොටසක් විකිණීමක් ගැන විශාල විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top