Jul 15, 2020

ජනතාව රකිනවා යැයි ජනපතිගෙන් සහතිකයක් Featured

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වයිරසය පැතිර යෑමේ අවදානම පාලනය කර ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඒ මහතා ඒ බව පැවසීය.

කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමඟ ලොව බොහෝ රටවලට පෙර එය මර්දනය කිරීමට වගකිව යුතු රජයක් ලෙස ඉතා සාර්ථකව පියවර ගත් බව ජනාධිපතිවරයා කීවේය.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය, යුද හමුදාව, බුද්ධි අංශ සහ පොලීසිය දායක කර ගනිමින් ජනවාරි 26 දින කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණ.

චීනයේ  වූහාන්හි අසරණව සිටි සිසුන් මුදා ගැනීමේ සිට සියලු රටවල් අභිබවා රජයක් ලෙස වගකීමෙන් ගත් පියවර ඒ මහතා සිහිපත් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද පැවසීය.

"නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපනයට සැලසුම් කිරීමේ දී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා පැමිණියා. ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවලින් පැමිණි පිරිස නිරෝධායනයට යොමු කිරීමේ දී ඔවුන්ගෙන් විරෝධතා ආවා. ඉදිරියටත් කුමන බාධක පැමිණිය ද අභියෝග ජය ගනිමින් ජනතාව රැක ගැනීමේ වගකීම අත්හරින්නේ නෑ. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන්  හමුවූ කොවිඩ් ආසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන නිරෝධායනට යොමු කරලා තියෙනවා. උද්ගත වූ තත්වය පාලනය කිරීමට සමත් වූ අයුරින් ඉදිරියේ දී මතුවන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කරලා තියෙනවා. ආසාදිතයන් හඳුනාගත් රාජාංගනය අතුළු සෙසු ස්ථානවල PCR පරීක්ෂණ වැඩිකරන ලෙස උපදෙස් දීලා තියෙනවා. කොවිඩ් මර්දන ව්‍යාපාරය සාර්ථකව රට පුරා ක්‍රියාත්මක කිරීමට දිවා රෑ නොබලා අඛණ්ඩව දායක වන සියලුදෙනාවම මම ඉතා ඉහළින් අගය කරනවා."

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top