Jul 15, 2020

මහින්දානන්දට එරෙහි කැරම් හා දාම්බෝඩ් නඩුව කල් යයි  

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ “ස.තො.ස“ ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 03 වැනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (15) ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.
2014 වසරේ සැප්තැම්බර් මස පළමුවන දා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් “ස.තො.ස“ ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ “ස.තො.ස“ ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.  

එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා ඉකුත් දිනවල කුණ්ඩසාලයේ සා හේවාහැට ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වී ඇති හෙයින් එම ප්‍රදේශවලින් මේ වනවිට කොරෝනා රෝගීන් වාර්තා වී ඇති නිසා සෞඛ්‍යාරක්ෂාව පදනම් කරගෙන ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බවය.

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින නලින් ප්‍රනාන්දු මහතාද අධිකරණ ශාලාව තුළට පැමිණ නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා පසුගිය දිනවල ගම්පහ ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වී ඇති බවත් ඔහුද සෞඛ්‍යාරක්ෂාව සැලකිල්ලට ගෙන අධිකරණ භූමියට පැමිණ සිටින නමුත් අධිකරණ ශාලාව තුළට නොපැමිණි බවය.

එදින නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන දිනය නියම කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top