Jul 15, 2020

හක්මන අනතුරේ ටිපර් රථ රියදුරු රිමාන්ඩ්

මාතර හක්මන ප්‍රදේශයේදී මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක් කර පලායාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයා විසින් අද (15) නියෝග කළේය.

මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, රාජකාරී නිලධාරීන්ට සුළු/ බරපතල තුවාල සිදු කිරීම, අන්තරායක ලෙස රිය පැදවීම හා විරුද්ධ මාර්ගයේ ගමන් කිරීම යන රථවාහන වැරදි සම්බන්දයෙන් අදාළ සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

පසුගිය 13 වනදා මාතර, හක්මන ප්‍රදේශයේ දී මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු විසින් ටිපර් රථයකින් යටකර පලාගොස් තිබුණු අතර අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබීය.

අනතුර සිදුකර පළාගිය ටිපර් රථය රන්න ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී සොයාගත් අතර පොලිසිය විසින් හුංගම ප්‍රදේශයේදී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top