Jul 16, 2020

බැඳුම්කර මඟඩිය මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයට

2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (16) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හත්දෙනා අධිකරණයේ පෙනී සිටි අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවය.

ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මස 12 වැනිදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

2015 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියක දී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එවක මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top