Jul 16, 2020

රන්ජන්ගේ නඩුවේ නීතිපතිගේ දේශන අවසන්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නීතිපතිවරයාගේ දේශන ඉදිරිපත් කිරීම අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවසන් කෙරුණි.

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහතුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම දේශන ඉදිරිපත් කිරීම සිදු කර තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය තමා විසින් බැහැර නොකරන බවට වගඋත්තරකාර රංජන් රාමනායක විසින් අවස්ථා හතරක දී සපථ කර ඇති බව සඳහන් කළ බව වාර්තා වේ.

රන්ජන් රාමනායක යනු ජනප්‍රිය නළුවකු මෙන්ම දක්ෂ දේශපාලකයෙකු වන අතර ඔහු විසින් ඉදිරිපත් කරන කරුණු ජනතාව විසින් පිළිගන්නා බව රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කර ඇත.

මෙහි ප්‍රතිඵලයක් ලෙස රන්ජන් රාමනායක විසින් අධිකරණය සම්බන්ධයෙන් කරුණු ලබන මෙවැනි ප්‍රකාශ හරහා අධිකරණ පද්ධතිය කෙරෙහි මෙරට ජනතාව තුළ පවතින විශ්වාසය පළුදු වීමට හේතුවිය හැකි බව ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අනතුරු අඟවා සිටියේය.

අවසන් වශයෙන් සිය දේශනය ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කියා සිටියේ වගඋත්තරකාර රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්පූර්ණයෙන්ම ඔප්පු වී තිබෙන බවය.

2018 වසරේ අගෝස්තු මස 21 වන දා එවක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි.හිටපු අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය තුළින් ඔහු මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ හැරීමට ක්‍රියා කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වන සුනිල් පෙරේරා යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

නීතිපතිවරයාගේ පාර්ශවයේ දේශනය ඉදිරිපත් කිරීම අවසන් කෙරුණු අතර වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතාගේ පාර්ශවයේ දේශන ඉදිරිපත් කිරීම අගෝස්තු මස 24 වැනිදා සිදුකිරීමට නියමිතව තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top