Aug 05, 2020

නාකොටික් නිළධාරීන් මත්ද්‍රව්‍ය වැටලීම්වලට හොර නෝට්ටු යොදා ගෙන

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ වැටලීම් සඳහා කාලයක් තිස්සේ ව්‍යාජ මුදල් 5,000 නෝට්ටු යොදා ගෙන ඇති බවට කරුණු අනාවරණය වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (4) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ සඳහන් කළේය.

ව්‍යාජ 5,000 නෝට්ටු ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව පැවරු නඩු දෙකක් යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී මේ කරුණු අනාවරණය විය.

සිද්ධියට අදාළව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළ ද මේ මුදල් මුද්‍රණය සම්බන්ධයෙන් කරුණු කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත් එකම අංකය යටතේ මේ මුදල් මුද්‍රණය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් කොස්තාපල් (85372) වන්නිආරච්චිලාගේ ලක්ෂාන් සමීර හා පොලිස් කොස්තාපල් (87226) හේමුදියන්සේලාගේ ලලිත් ජයවර්ධන යන දෙදෙනාට එරෙහිව ව්‍යාජ මුදල් ළඟ තබා ගැනීමේ චෝදනාව මත නඩු පවරා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top