Aug 07, 2020

රනිල් කොළඹින් ගත්ත ගාන මහින්ද කුරුණෑගලින් ගනියි !

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලයද මේ වනවිට නිකුත්වී ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සටහනේ පළමු ස්ථානයට පත්වෙමින් මනාප 527,364 ක් ලබා ගැනීමට සමත්ව තිබේ.

මෙය 2015 මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් 500,566 ද ඉක්මවා යාමකි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොහොට්ටුව වෙනුවෙන් සලකුණු කළ ඡන්ද 122,601 ක් හැරෙන්නට සෙසු ඡන්ද සියල්ලේම මනාප මහින්ද මහතා වෙනුවෙන් ලකුණු කර තිබීම විශේෂ සිද්ධියකි.

එහි දෙවැනි ස්ථානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුවන අතර ඔහු මනාප 199,203 ක් ලබාගෙන තිබේ.

ගුණපාල රත්නසේකර මනාප 141,991 ක්ද, දයාසිරි ජයසේකර මනාප 112,452 ක්ද, අසංක නවරත්න මනාප 82,779ක්ද සමන්ප්‍රිය හේරත් මනාප 66,814 ක්ද ලබාගෙන පිළිවලින් එම ලයිස්තුවේ තුන හතර හා පහ යන ස්ථානවල පසුවෙයි.

ඞී.බී. හේරත් හිමිකරගෙන ඇති මනාප සංඛ්‍යාව 61,954 ක් වන අතර, අනුර ප්‍රියදර්ශන යාපා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 59,666 කි. 

ජයරත්න හේරත් මනාප 54,351 ක්, ශාන්ත බණ්ඩාර මනාප 52,086 ක් සහ යූ.කේ. සුමිත් මනාප 51,134 හිමිකරගනිමින් පාර්ලිමේන්තුවට පිවිසීමට වරම්  හිමිකරගෙන සිටිති.

සමගි ජනබලවේගයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසන 4 ක් හිමිව ඇති අතර, එහි වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත්තේ ඇත්තේ නලින් බණ්ඩාරය.

ඔහු මනාප 75,631 ක් ලබාගෙන ඇති අතර ජේ.සී අලවතුවල මනාප 65,956 ක්ද  අශෝක් අබේසිංහ මනාප 54,512 ක් සහ තුෂාර ඉඳුනිල් මනාප 49,364 ක් ලබා ගැනීමට සමත්ව ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top