Aug 11, 2020

කුරුණෑගල නගරාධිපති අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් දාලා

කුරුණෑගල නගරයේ පිහිටි බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබෙන වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා  කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයක් සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විසින් වැරදි මත සමාජගත කිරීමට පියවර ගත් බවය.මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ පුද්ගලයෙකු අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇතැයි ද පෙත්සම්කාර කුරුණෑගල නගරාධිපතිවරයා චෝදනා කර සිටියේය.

මේ හේතුවෙන් තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් අගෝස්තු මස 7 වැනිදා නිකුත් කළ වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් කුරුණෑගල නගරාධිපතිවරයා අභියාචනාධිකරණය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, කුරුණෑගල විශේෂ විමර්ශන අංශය බාර පොලිස් ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සහ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා නම් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top