Aug 14, 2020

SF ලොක්කා ඝාතනයට පෙම්වතියගේ සැමියා ගැන සැකයක්

පසුගියදා අනුරාධපුර දහයියාගම හන්දියේදී ඝාතනයට ලක්වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නමැත්තාගේ පෙම්වතියගේ බැංකු ගිණුමකින් සිදුවී ඇති රුපියල් ලක්ෂ 80 සැකකටයුතු මුදල් හුවමාරු වීම් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එස්.එෆ්. ලොක්කා මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇති බවද ඔහුගේ මුදල් පරිපාලන කටයුතු කර ඇත්තේ පෙම්වතිය බවද මේ වන විට හෙළිවී ඇතැයි වාර්තා වේ.

චූටි නැමැති එම පුද්ගලයා සමග හිතවත්කමක් ගොඩ නඟාගෙන ඇති එස්.එෆ්. ලොක්කා ඔහුව තමා වෙත නම්මවා ගෙන මත්කුඩු ජාවාරමට පොලඹවාගෙන ඇති බවත් පසුව ඔහුව මත්කුඩු සමග පොලීසියට හසුකර දී ඇත.චූටි නැමැත්තා බන්ධනාගාරගත වීමෙන් පසු ඔහුගේ බිරිඳ තමා වෙත ගෙන්වා ගෙන පෙම්වතිය ලෙස තබා ගෙන සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එස්. එෆ්. ලොක්කා සැලසුම් සහගතව බන්ධනාගාරයට යැවූ චූටි නැමැත්තා මේ වන විට ඇපමත නිදහස්වී ඇති බවද වාර්තා වේ.

එස්.එෆ්. ලොක්කා වෙඩි ප්‍රහාරයට ලක්වූ දින වෙඩික්කරුවන් එස්.එෆ්. ලොක්කා පදිංචිව සිටි නිවස පිහිටි ප්‍රදේශයේ යතුරු පැදියෙන් සැරිසරා ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top