Aug 14, 2020

ජේලර්ගේ මඟුලට වෙලේ සුදාගෙන් විස්කි, නියාමකවරුන් 07ක් මාරු කරයි

මරණීය දඬුවම ලැබ ගාල්ල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා එම බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ විවාහ මංගල උත්සවයක් සඳහා විස්කි බෝතල් 100ක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි වෙලේ සුදා මීට මාස කිහිපයකට ඉහතදී බූස්ස බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කර යවා තිබුණු අතර එසේ ස්ථාන මාරුකර යවන ලද මුල් කාලයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

මෙවැනි සිද්ධියක් පිළිබඳව බන්ධනාගාර බුද්ධි අංශය හා එම බන්ධනාගාරයට අනුයුක්ත කර තිබෙන පොලිස් විශේෂ කාර්ය බළකාය පැති කිහිපයක් ඔස්සේ විමර්ශනයක් ආරම්භකර ඇති බව වාර්තා වේ.

නියාමකවරුන් 7කට ස්ථාන මාරු   

මේ අතර බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 07 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ වෙලේ සුදා සමඟ සබඳතා පැවැත්වූ බවට වන චෝදනාව මතය.

අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකර නිවැරදි තොරතුරු තහවුරු කර ගන්නා තුරු මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වාර්තා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top