Sep 08, 2020

බන්ධනාගාර ගතව සිටින පොඩි ලැසී අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග 

බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පොඩි ලැසී’ නැමැත්තා ලබන 25 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (08) නියෝග කළේ ය.

ඒ ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම පිළිබඳව ‘කොස්ගොඩ තාරක’ සහ ‘පොඩි ලැසී’ යන දෙදෙනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී ය.

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකු ඔවුනට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසා උපවාසයක් ආරම්භ කර තිබූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් කිහිප දෙනෙකු ජූනි මස 26 වැනිදා බූස්ස බන්ධනාගාරයට ගොස් ඇති බවද එහිදී ‘පොඩි ලැසී’ නමැත්තා එම නිලධාරීන්ටත් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාටත්, ජනාධිපතිවරයාටත් , ආරක්ෂක ලේකම්වරයාටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අනාවරණය කළේ ය.

ඒ අනුව බූස්ස බන්ධනාගාරයට ගොස් ‘පොඩි ලැසී’ නමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත් 25 වන දින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙස ද නියෝග කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top