Sep 09, 2020

මාතලේ කැළෑ ගිනි තැබීම් ඉහළට - මෙහෙම ගියොත් මාතලේ කාන්තාරයක් වෙයි Featured

ඉවක් බවක් නොමැතිව මාතලේ දිස්ත්‍රික්කයේ වනාන්තර ගිනි තැබීම් හේතුවෙන් ස්වාභාවික පරිසරයට බරපතළ හානි වෙමින් පවතින බව පරිසර සංවිධාන චෝදනා කරයි.

වාර්ෂිකව විවිධ පුද්ගලයින් විසින් සිදුකරන ස්වාභාවික වනාන්තර ගිනි තැබීම් හේතුවෙන් දුර්ලභ පැළෑටි වර්ග, ආවේණික සත්ත්ව විශේෂ මෙන්ම වටිනා රුක්ෂලතා ද වැනසී යන බව පරිසරවේදීහු මැසිවිලි නඟති.

වියළි කාලගුණයත් සමඟ මාතලේ නාඋල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් මේ වන විට විශාල භූමි ප්‍රමාණයක් ගිනි තැබීම් හේතුවෙන් විනාශ වී ඇති බවද එම ප්‍රදේශවල පැතිර ගිය ගිනි ගැනීම් නිවා දැමීම සඳහා අදාළ අංශයන්ට විශාල පරිශ්‍රමයක් දැරීමටද සිදුවූ බවද වාර්තා වේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නාඋල කාර්යාලීය නිලධාරීන් හා නාඋල පොලිස් ස්ථානයේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් මෙන්ම ප්‍රාදේශීය සභා නිලධාරීන් හා සේවකයින් රැසක් ගිනි නිවීම් පාලනය සඳහා පසුගිය දින කිහිපයේ දීම යුහුසුලුව කටයුතු කර තිබේ. 

මාතලේ දිස්ත්‍රික්කයේ වනාන්තර ගිනි තැබීම් සම්බන්ධයෙන් මාතලේ නාලන්ද විද්‍යාලයේ පැවති රැස්වීමක් අමතමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසා ඇත්තේ මෙවැන්නකි.

"මුළු මාතලේම තැන තැන ඉඩම් අල්ලනවා. අනවසර ගොඩනැගිලි ඉදිකරනවා. කැලෑ කපනවා. රටම නීතියක් නැති තැනකට යනකොට, රට මැද සම්පත් පිරුණු මාතලේ එකේ ලොකුම ගොදුර බවට පත් වෙමින් තිබෙනවා. සිංහරාජය, කලපු ආශිත ප්‍ර දේශවල පරිසරය විනාශ කරනකොට ඒවාට දැඩි අවධානයක් ලැබෙනවා. නමුත්, මාතලේ රත්තොට, නකල්ස්, මොරගහකන්දේ කැලෑ කපනකොට ඒ අවධානය ලැබෙන්නේ නෑ.මාතලේ මුවගල කන්දේ සංවේදී පරිසර කලාපයට කැලෑපාළුවෝ අතගහලා තියෙනවා. හෝටලයක් හදන්න කියලා, මුවගල කන්දේ ගස් කපනවා. මෙහෙම ගියොත්, උඩුපිහිල්ල, කිරිමැටියාව, දෙකේ කණුව ගම්මානවල බොන වතුර ටිකක් නැති වෙනවා.මැතිවරණ සමයේ මේ ගම්වලට එනකොට රක්ෂිතයේ තිබුණ ගස්ටික ආණ්ඩුවට සති දෙකක් යන්නටත් පෙර කපනවා. මෙහෙම ගියොත් මේ අවුරුදු පහ යන්නටත් ඉස්සර ආණ්ඩුව මාතලේට කාන්තාරයක් හදලා තියයි."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top