Sep 14, 2020

නකල්ස් විනාශය හොයන්න කණ්ඩායමක් Featured

නකල්ස් රක්ෂිතයේ පන්විල ඉහළ කලාපයේ සිදුකෙරෙන අනවසර එළිපෙහෙළි කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා අද දිනයේ නිලධාරීන් කණ්ඩායමක් යොමුකර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වනාන්තරයට අදාළව නීති විරෝධී කටයුත්තක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඒ.සී. වේරගොඩ මහතා පවසයි.

පරිසර නීති උල්ලංඝණය කරමින් නකල්ස් රක්ෂිතය තුළ පන්විල ඉහළ කලාපයේ අක්කර 5 කට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කිරීමේ සිදුවීමක් ඊයේ වාර්තා වූ අතර එළවළු වගාවක් සඳහා එම එළිපෙහෙළි කිරීම සිදුව ඇති බව වාර්තා වේ.

එළිපෙහෙළි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් එය පෞද්ගලික ඉඩමක් බව පවසා ඇතත් ඊට අදාළ ලිපිලේඛන කිසිවක් අදාළ ආයතන වෙත ඉදිරිපත් කර නොමැති අතර මෙවැනි අධි සංවේදී පරිසර කලාපයක් තුළ සිදුවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිදු ආයතනයක් දැනුවත් නොකර තිබීම ද මවිතයට කරුණක් බව පරිසර සංවිධාන චෝදනා කරයි.

"රටේ ජෛව විවිධත්වයෙන් සියයට 30ක් රැදී ඇත්තේ අවශේෂ වනන්තර වලින්"

රටේ ජෛව විවිධත්වයෙන් 30% ක් රැදී තියෙන්නේ 5/2001 චක්‍ර ලේඛනය මගින් ආරක්ෂා කරපු අවශේෂ වනන්තර වලින් බවද අවශේෂ වනාන්තර සමාගම්වලට වාණිජ්‍ය වගාවන් සඳහා ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවද මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.

"මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1802 විනාශ වෙනවා. මධ්‍යම පළාතේ විතරයක් හෙක්ටයාර් 22,668 ක් විනාශ වෙනවා. මේකට මාතලේ ඇමති ජනක බණ්ඩාරත් කැබිනට් එකේ අත උස්සලා තියෙනවා. රටේ හදවත, මධ්‍යම කඳුකරය මෙහෙම විනාශ කරාම රටක් ඉතුරුවෙන්නේ නෑ.

දැන් මේ ආණ්ඩුව තමන්ගේ හෙංචයියන්ට කැලෑ ටික කපාගන්න, කඩොලාන ටික විනාශ කරන්න, කැලෑ ගිණිතියලා ගස්ටික කපා ගන්න ඉඩ ලබාදී තිබෙනවා. මාතලේ අවශේෂ කැලෑ විතරක් නෙවෙයි විල්ගමුව, ලග්ගල, රත්තොට, නකල්ස් රක්ෂිත කපා කපා දමමින් තිබෙනවා. අවශේෂ වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරු යටතට පත් කිරීම අතිශයින් විනාශකාරී වෙනවා. මහ පොළොව නුහුලන අපරාධයක්." බවද ඒ මහත්මිය වැඩිදුරටත් පැවසූවාය. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top