Sep 15, 2020

20 වෙනස්කර නැවත ගැසට් කරන්න ජනපති එකඟ වෙලා!

යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අඩුපාඩු හා නිවැරදි විය යුතු කරුණු ඇතුළත් කර නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාව යළිත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොරොන්දු වූ බව යුතුකම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පැවැසීය.

දැනට ඉදිරිපත්ව ඇති විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ නිවැරදි විය යුතු කරුණු පිළිබඳව තම සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් ජනාධිපති හමුවී සාකච්ඡා කළ බවද යම් යම් කරුණු නිවැරදි කර යළිත් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති එකඟ වූ බවද ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම ආණ්ඩු පක්‍ෂයේ රැස්වීමේදී ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කරුණු දැක්වූ බවද එම කරුණු පිළිබඳ සොයා බැලීමට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාද එකඟ වී කමිටුවක් පත්කළ බවද කුමාරතුංග මහතා පැවැසීය.

ජනතාව ලබාදුන් ජනවරමට අනුව යම් අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යෑමට ජනපති හා අගමැති එකඟ වීම ගැන තම සංවිධානය ඉතාම සතුටට පත්වන බවද එය අනාගතයට ලබාදුන් හොඳ ආදර්ශයක් බවද හෙතෙම සඳහන් කළේය.

යෝජිත විසිවන සංශෝධනයේ පවතින ද්විත්ව පුරුවසිභාවය, කැබිනට් හා නියෝජ්‍ය ඇමැති සීමාව ඉවත් කිරීම, විගණනය හා ප්‍රසම්පාදන කොමිසම පිළිබඳවත් 7 උපලේඛනයේ ප්‍රතිඥාව ඇතුළු කරුණු පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බවද මේ පිළිබඳව අවධානය යොමුකර ඉදිරි සතියේදී හැකි තරම් නිවැරදි කිරීමක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රට විශාල අවුලකට පත්කර ඇතැයිද විසිවන සංශෝධනයෙන් බලාපොරොත්තු වන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන එනතෙක් ක්‍ෂණිකව දැනට 19 නිසා ඇතිවී තිබෙන අවුල නිරවුල් කරගෙන ජනාධිපතිටත් රජයටත් රට සමෘද්ධිමත් බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය හා ඉඩ ලබාදීම පමණක් යැයිද මන්ත‍්‍රීවරයා කීය.

පවතින අවුල් සියල්ල 20 සංශෝධනය මගින් නිවැරදි කළ නොහැකි බවද හැකි පමණින් නිවැරදි කිරීම් සිදුකිරීමට ජනපති එකඟ වූ බවද හෙතෙම කීය. එමෙන්ම රටට ඉතාම උචිත නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියාකරන බව ඉතා විශ්වාස යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

(දිවයින)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top