Sep 15, 2020

2030 වන විට විදුලිය 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ගන්න සැලසුම් Featured

වසර 2030 වන විට රටේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මඟින් ලබා ගැනීමට සැලසුම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් ගල්අගුරු සහ ඛනිජ තෙල් වැනි පොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තියට යොමු වෙමින් සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටියේය.

ව්‍යාපෘතියට අනුමැතිය ලබාදීමේ බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබා ගත යුතු බවත්, අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළ යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය. යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලා දින 14 කදී ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූ බවට සැළකීම උචිත බව රාජපක්ෂ මහතා පැවසීය.

පාසල්, කර්මාන්තශාලා සහ රජයේ ගොඩනැගිලිවල වහළ මත සූර්යබලශක්ති පැනල සවි කිරීමට ඇති හැකියාවත් ලැබෙන ලාභයෙන් කොටසක් අදාළ ආයතන වෙත ලබාදීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top