Sep 15, 2020

ඇසක් අන්ධවූ සෙබළාගේ පෙත්සම විභාගයට ගන්න දින තීන්දුයි

ආබාධිත හමුදා සෙබළුන් පැවැත්වූ උද්ඝෝෂණයකට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකින් තම ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධවීම හේතුවෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ආබාධිත සෙබළෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන වසරේ මැයි 04 වැනිදා විභාගයට ගැනීමට ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) තීන්දු කර තිබේ.

මාතර ප්‍රදේශයේ පදිංචි ආබාධිත සෙබළෙකු වන නිශාන්ත මිහිරාජ් නමැත්තා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ 2017 වසරේ නොවැම්බර් මස 7 වන දා කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය අවට ආබාධිත සෙබළුන් විසින් පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය අත්තනෝමතිකව එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් සිය ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වූ බවය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එවකට ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, වැඩ බලන පොලිස්පතිවරයා, කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කැරළි මර්දන ඒකකය භාර සහකාර පොලිස් අධිකාරීවරයා නම් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top