Sep 15, 2020

මත් ජාවාරම්කරුවන්ගේ නීති විරෝධී මුදල් හා දේපළ රජය භාරයට

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් හා දේපළ රාජසන්තක කිරීම සඳහා කටයුතු කිරීමට පෙර මුල් අවස්ථාවේදී ම එම දේපල රජය භාරයට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (14) අරලියගහ මන්දිරයේදී පැවති එම සාකච්ඡාව සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

නීති විරෝධී ලෙස උපයා ගත් මුදල්, රථ වාහන, ඉඩම්, නිවාස, ගොඩනැගිලි, යනාදියට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ද නඩු විභාගය අවසන් කර දේපල රාජ සන්තක කරන තෙක් ඒවා ඔවුන් විසින්ම භුක්ති විදීම හා ඒවායෙන් මුදල් ඉපයීමත්, එම මුදල් හා දේපල තවරදුටත් නීති විරෝධී අරමුණු සඳහා යෙදවීම වැළැක්වීම සඳහාත් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී ඇත.

මුදල් විශුද්ධිකරණ පනත සහ 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදන සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර එම පනත් අවශ්‍ය සංශෝධනයටන්ට ලක් කිරීම සහ දැනට තිබෙන ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධව නිලධාරීන් කරුණු දක්වා තිබේ.

ඒ අනුව, තිබෙන ප්‍රතිපාදන මත වහා ම කටයුතු කිරීමටත්, අවශ්‍ය නීති සංශෝධනයට ලක් කිරීම සලකා බැලීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top