Sep 16, 2020

"පොත් ප්‍රදර්ශන වැනි ඉසව් අනුමත කරන්න බෑ" Featured

කොරෝනාවෛරස් අවදානමක් රට තුළ පවතින මෙවන් අවස්ථාවක කොළඹ පොත් ප්‍රදර්ශනය වැනි ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගී වන ඉසව් සංවිධාන කිරීම අනුමත නොකරන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ කොළඹ පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයන් විසින් උපරිමයෙන් ආරක්ෂා කරමින් ප්‍රදර්ශනය පවත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඛේදවාචකයක් වෙන්න පුළුවන්
"ඒ වගේ ජනගහනය ඒකරාශී වීමක් වසංගත රෝග විද්‍යා අංශය විදියට අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ... යම්කිසි විදියකට එතනට Covid-19 රෝගියෙකු ඇවිත් හිටියොත් එතන තියන අවදානම ඉතාමත්ම විශාලයි මොකද මේ පොත් ප්‍රදර්ශනයට එන්නෙ එක ප්‍රදේශෙකින් ඒ කියන්නෙ දිස්ත්‍රික්කයකින් නෙමෙයි. මුළු ලංකාවෙන්ම එනවා. ඒ නිසා එය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුව තමයි පැවැත්විය යුත්තේ...එසේ නොවුනොත් ඒක සමහරවිට අපි අතින් වෙන ඛේදවාචකයක් වෙන්න පුළුවන් යම්කිසි විදියකින් Covid-19 රෝගියෙක් එතට හිටියොත්," යැයි ඔහු පැවසීය.

"පෞද්ගලිකව මම කියන්නේ පොත් ප්‍රදර්ශනයේ ලබාදෙන එම සියලුම වාසි සහගත තත්ත්වයන්, පොත් සාප්පුවකින් ලබාගන්න පුළුවන්නම් පොත් ප්‍රදර්ශනයට එන්නෙ නැතිව මේ අවුරුද්දේ ඒ විදියට පොත් අරගන්න," යැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 18දා - 27දා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට නියමිතය.

කොහේ හිටියත් මීටරේ තියාගන්න
මේ අතර, කොරෝනාවෛරස් වසංගතය හමුවේ පණවා ඇති සෞඛ්‍යාරක්ෂිත නියමයන් මේ වන විට බහුතරයක් ජනතාවට අමතක වී ඇති බවද වෛද්‍ය සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රවාහන සේවා මුලින් ආරම්භ කරන විට ආසන ගණනට පමණක් මගීන් ගන්නා තත්ත්වයක් පැවතුනද මේ වන විට යළිත් පෙර පරිදි සෙනග තෙරපී යන අයුරු දක්නට ලැබිය හැකි ඔහු සඳහන් කරයි.

තවද, ඕනෑම ස්ථානයකදී මීටරයක පරතරය තබාගැනීම ඉතාමත් වැදගත් වන බවත්, ඒ සෑම අවස්ථාවේදීම නාසය හා මුඛය වැසෙන සේ නිසි පරිදි මුඛ ආවරණයක් පැළඳිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිහිටියන් හැකිතාක් නිවසේ රැඳෙන්න
මේ අතර, Covid-19 වැළඳීම වැළැක්වීම සඳහා හැකි තරම් නිවසේ රැඳී සිටින ලෙසත්, අවශ්‍ය වුවහොත් පමණක් නිවසෙන් පිටතට යන ලෙසත් වෛද්‍ය සමරවීර මහතා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විට සමාජය තුළ Covid-19 පැතිරීමක් දක්නට නොලැබුනද, විවිධ රෝගවලින් පීඩා විඳින්නන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට මෙම වෛරසය වැළඳීමේ අවදානම වැඩි බව ඔහු පෙන්වාදුන්නේය.

ඊයේ (15) දිනයේදී මේ දක්වා Covid-19 ආසාදිතයන් 09ක් වාර්තා වූ අතර, මේ සමග මේ මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 3,271 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත විද්‍යා අංශය විසින් ඊයේ ප.ව. 7.30ට පළ කළ නවතම වාර්තාව අනුව මේ වන විට රෝගීන් 242 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, සුවය ලැබූ රෝගීන් 3016 ක්ද වේ. තවද, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 13කි.

මේ අතර, විදේශයන්ගෙන් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අතරින් සැළකිය යුතු පිරිසකට නව කොරෝනාවෛරසය වැළඳී තිබීම හමුවේ දිනකට එක් ගුවන් යානයක් පමණක් ගෙන්වා ගැනීමට සිදුව ඇතැයි Covid-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබුණි.

සබැඳි පුවත් :
රටින් ගෙන්වන ගුවන් යානා එකකට සීමා කරයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top