Sep 16, 2020

වාහන නොගෙන්වන නිසා රක්ෂණ සමාගම් ඇද වැටෙයි - ඔබේ රක්ෂණයට වෙනදේ මෙන්න Featured

මෝටර් රථ ආනයනය තාවකාලිකව අත්හිටුවීම සහ ආර්ථික පසුබෑම හේතුවෙන් මෙරට මෝටර් රථ රක්ෂණ සමාගම් අතර ප්‍රබල තරගයක් ගොඩනැගෙමින් පවතින බව ලොව ප්‍රමුඛ වානිජ ආයතන ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස් (Fitch Ratings) සඳහන් කරයි.

මෙම තත්ත්වය මෝටර් රථ හිමිකරුවන්ට වාසිදායක බවද රක්ෂණ සමාගම් බොහෝ වරප්‍රසාද සිය රක්ෂණලාභීන්ට ලබාදීමට උත්සුක වෙමින් සිටින බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවට මෝටර් රථ ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර මේ හේතුවෙන් මෙම වසරේදී රක්ෂණ සමාගම් ලබන ලාභය සියයට 60කින් පමණ අඩුවෙන බව ෆිච් රේටිංග්ස් සමාගම අපේක්ෂා කරයි.

මෙරට රක්ෂණ සමාගම් දළ වාරික ආදායමෙන් සියයට 60ක්ම රැස් කරනු ලබන්නේ මෝටර් රථ රක්ෂණ වාරික වලිනි.

Third Party වලට වාසියි

කොරෝනා වසංගතයත් සමගම ආර්ථික තත්ත්වය පහත වැටීමෙන් මෝටර් රථ හිමියන් සැලකිය යුතු සංඛ්‍යාවක් තෙවැනි පාර්ශ්වීය රක්ෂණ (Third Party Insurance) වෙත යොමුවීම හේතුවෙන්ද රක්ෂණ සමාගම්වල ආදායම් තවදුරටත් පහත වැටී ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වය මෝටර් රථ රක්ෂණ ඔප්පු හිමියන්ට වැඩි වැඩියෙන් වරප්‍රසාද හා පහසුකම් ලබාදීම මෙන්ම වාරික මුදලද පහත හෙළීම වැනි පියවර වෙත යොමුවීම ශ්‍රී ලාංකික රක්ෂණ සමාගම්වලට සිදුවී ඇති බව ෆිච් රේටිංග්ස් වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top