Sep 16, 2020

ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් අභියාචනාධිකරණ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 03 දෙනෙකුට එරෙහි නඩු විභාගයෙන් ලබන ඔක්තෝබර් මස 20 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් නියෝග කළේය.

ඉන් පසු පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා කියා සිටියේය.

ඒ අනුව අදාළ පැමිණිල්ල මින් ඉදිරියට විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම් කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දන්වා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.  

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

එම පොලිස් නිළධාරීන් දෙදෙනා මෙම නඩුවෙන් මුදා මරින ලෙසටද අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඉකුත් වසරේ අපවත් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතුවලට අදාළව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය  කිරීම තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top