Sep 16, 2020

ජනපති - අගමැති ගේ නම් කියු පමණින් පාසලට ළමයි ගන්න එපා Featured

ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දෙනු ඇත.


ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපතිතුමාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යතුමාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම් දෙනා පෙළඹී සිටින බවත්, ඇතැම් අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය කර ඇති බවත්ය.

විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතු බවත් ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණක් බවත් එම මාධ්‍ය නිවේදනය සඳහන් කරයි.

මේ නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම් දෙන බවද එහි වැඩිදුරටත් දැක්වේ.

Covid-19 ගැන අවධානය අඩුවෙලා
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති නිර්දේශ හා උපදෙස් අකුරටම පිළිපදිමින් පාසල් පවත්වාගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් ප්‍රධානීන් ද දැනුවත් කර තිබේ.

එහෙත් පාසල් පරිශ්‍රය තුළ විශබීජහරණය, දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම ඇතුළු කොවිඩ් පාලන උපදෙස් කෙරෙහි දෙමව්පියන්, ගුරුවරුන්, සිසුදරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව මේ වනවිට අඩු අවධානයක් යොමු කරන බවට ඇතැම් පාසල් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවත්, දරුවන්ගේ අසනීප තත්ත්වයන්හිදී දැඩි අවධානය යොමුකරමින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි උපරිම ලෙස සැලකිලිමත් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

Covid-19 දෙවන රැල්ලක අවදානම මුලුමනින් ම රටෙන් පහව ගොස් නැති බවත්, යම් හෙයකින් එවන් තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය රටේ පාසල් දරුවන් බවත්, මේ නිසා නොතකා හැරීම් සහ නොසැලකිලිමත්වීම වෙනුවට සෑම මොහොතක ම පූර්ණ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ ස්වයං විනය පවත්වාගැනීමට සියලු දෙනාම වගබලාගතයුතු බව ද මේ සම්බන්ධයෙන් අද (16) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදහස් දක්වමින් කොළඹ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top