Sep 20, 2020

20 නිසා සුළු පක්ෂ බෙදෙයි: 20ට විපක්ෂ මුස්ලිම් මන්ත්‍රී 3කගේ සහය  Featured

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට රජයට සහාය දිය යුතුද නැත්ද යන කරුණු මත සුළු පක්ෂවල ප්‍රබල බෙදීමක් හටගෙන ඇතැයි වාර්තා වේ.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ තුළ මෙම බෙදීම හටගෙන තිබේ.

මෙයින් වඩාත්ම උග්‍ර බෙදීම වාර්තා වන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ බව පැවසේ.

එහි මන්ත්‍රීන් 5 දෙනෙක් මැතිසබය නියෝජනය කරනු ලබයි.එම පක්ෂයේ මන්ත්‍රීන් තිදෙනකු පක්ෂය කවර තීන්දුවක් ගත්තත් රජයට සහාය දීමට අපේක්ෂා කරන බව පවසා ඇතැයි “දේශය” පුවත්පත වාර්තා කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ පක්ෂ නායක රවුෆ් හකීම් පක්ෂයක් ලෙස පොදු තීන්දුවක් ගත යුතු යැයි ඔවුන් පවසා ඇති බවයි. 

නමුත් රජය මෙතෙක් රවුෆ් හකීම්ට රජයට එක්වන ලෙස නිල ආරාධනයක් කර නොමැති බව වාර්තා වන අතර මේ තත්ත්වය මත මුස්ලිම් කොංග්‍රස නායකයා බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින බවද පැවසේ.

දෙමළ ප්‍රගතිශීලී සන්ධාන නායකයන් වන මනෝ ගනේෂන් හා දිගම්බරම් සමඟ රජය යම් අදහස් හුවමාරුවක් කරගෙන ඇතත් ඔවුන්ටද නිල ආරාධනයක් කර නැතැයි වාර්තා වෙයි. 

එම පක්ෂයේද මන්ත්‍රීන් හය දෙනකු සිටින අතර ඔවුන්ගෙන් සිව් දෙනකු රජයට සහාය දිය යුතු යැයි ප්‍රබල මතයක් ඉදිරිපත් කර තිබේ.

රිෂාඩ් බදුයුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් රජය ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්නැයි ඉල්ලීමක් කර නොමැති බවද පැවසේ.

රිෂාඩ් බදුයුදීන් කිසිසේත්ම රජයට බඳවා නොගත යුතු යැයි ප්‍රතිපත්තිමය තීන්දුවක්ද ගෙන ඇති බවද වාර්තා වේ.එහෙත් ඔහුගේ පක්ෂයේ මන්ත්‍රී 4 දෙනාගෙන් දෙදෙනකු ස්වාධීනව සිටිමින් රජයට සහාය දීමට රජයට යෝජනාවක් එවා ඇති බවද දේශය වාර්තා කර ඇත.

මෙම තත්ත්වය නිසා පක්ෂ මට්ටමින් තොරව විපක්ෂයේ මන්ත්‍රීන්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාගැනීමට රජය වඩාත් කැමැත්තෙන් සිටින බව දැනගන්නට ඇත. 

මේ නිසා යට කී ප්‍රධාන පක්ෂ තුනේම අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අතරම රජයට සහය දෙන ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ද 20 ට සහය දෙන්නේද නැද්ද යන්න ගැන පොදු එකඟ තාවයක් නැතැයි වාර්තා වේ.

සමස්ථ 20 ම පරාජය නොකර එහි වගන්ති ලෙස පරාජය කළ යුතු තැන් ඇති බව එම පක්ෂයේ බහුතර මන්ත්‍රී මතය බව පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top