Sep 20, 2020

මං තීරු නීතිය කැඩුවොත් උපදෙස් පන්තිට යං

කොළඹ මාර්ග 4ක ක්‍රියාත්මක මං තීරු නීතිය කඩකරන පුද්ගලයින් හෙට සිට උපදෙස් පන්ති සඳහා යොමු කරන බව පොලිසිය සඳහන් කරයි.

මංතීරු නීතිය කඩ කරන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක මහතා පවසයි.  

බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු පවසයි.

ඒ අනුව මංතීරු හතරක් ඇති මාර්ගයන් හි වම්පස තිබෙන පළමු හා දෙවන මංතීරු බස්රථ, යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා වෙන් කර ඇති අතර මංතීරු තුනක් ඇති මාර්ගවල වම්පස පළමු මංතීරුවේ බස් රථවලට ගමන් ගත හැකි අතර, දෙවන මංතීරුවෙන් ඉස්සර කර ඉදිරියට යා හැකිය.

අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස්ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මංතීරු නීතියේ පෙරහුරු ක්‍රියාත්මක විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top