Sep 25, 2020

ගිනි ගත් නැවේ ඉන්ධන තවදුරටත් ව්‍යාප්ත වෙයි Featured

ගිනි ගැනීමකට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් පිටවූ ඉන්ධන මෙරට සාගර කලාපයේ තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය සඳහන් කරයි.

මෙම නෞකාවෙන් මෙරට සාගර කලාපයට පරිසර හානියක් සිදුවී ඇති බවට සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය සකස් කරන ලද වාර්තාව නීතිපතිවරයාට භාරදුන් බව එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.

සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරියේ නිලධාරීන් සහ තවත් විශේෂඥ කණ්ඩායමක් එක්ව මෙම වාර්තාව සකස් කර තිබේ. 

අදාළ වාර්තාව නීතිපතිවරයා විසින් නැවට අදාළ ඉදිරි නීතිමය කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බවද පැවසේ.

නැවෙන් පිටවූ ඉන්ධන මෙරට සාගර කලාපයේ කිලෝමීටරයක් පමණ පළල කිලෝමීටර් තුනක් පමණ දිගැති ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව තිබෙන බවද මුහුදේ තිබෙන ඉන්ධන තවත් ව්‍යාප්ත වෙමින් පවතින අතර නැව මෙරට සිට නාවික සැතපුම් හැටක පමණ දුරින් පිහිටා තිබෙන බවත් නැවෙන් ඉන්ධන පිටවීමක් දැනට සිදු නොවන බවද සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය සඳහන් කරයි. 

ශ්‍රී ලංකාවට ආසන්නව ගිනිගැනීමට ලක්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම ඊයේ (24) එකඟ වී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top