Sep 26, 2020

මංතීරු වලට පාපැදි මංතීරුවකුත් ළඟදීම!

කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා පාපැදි මං තීරුවක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ.

කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා විහිදී යන පරිදි නගර රැසක් සම්බන්ධ වන ආකාරයට මෙම පා පැදි මං තීරුව ඉදි කිරීමට අපේක්ෂිත බවද වාර්තා වේ.

පාසල් ළමුන්, රැකියාවන්හි නිරත පිරිස්, දෙස් විදෙස් සංචාරකයින් හා පා පැදි ක්‍රීඩාවෙහි නිරතවන පිරිස් ඉලක්ක කර ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා මූලික සැලැස්ම මේ වනවිට සකස් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ වයි.ඒ.ජී. කේ. ගුණතිලක මහතා පවසයි.  

ප්‍රධාන මාර්ගයට පිවිසෙන රථ වාහන අවම කිරීම තුළින් මාර්ග තදබදය අවම කිරීම හා පරිසරහිතකාමී ප්‍රවාහන මාධ්‍යයන් ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමේ මූලික අරමුණ වේ.

මෙම පා පාදි මාර්ගයේ දුර කිලෝමීටර 23 ක් වන අතර පළල අවම මීටර 1.5 ක් ද උපරිමය මීටර 2.5 ක් ද වේ.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මීතොටමුල්ල ශාන්ත බස්තියන් ඇළ මාර්ගයෙ අසලින් අලුත් කඩේ උසාවි සංකීරණය අසලින් ගමන්කර පා වෙන වෙරළ සංකීර්ණය වෙත පැමිණිමට සැලසුම් කර තිබේ.

පළමු අදියර යටතේ මෙම මාර්ගය තුළ කුලී පදනම මත පා පැදි ලබා ගත හැකි ස්ථාන 11ක් පවතී.ඕනෑම ස්ථානයකින් මුදල් ගෙවා පා පැදියක් ලබාගෙන මෙම ස්ථාන 11න් ඕනෑම තැනකට යළි පා පැදිය භාර දිය හැකි වේ.

ව්‍යාපෘතිය මෙම වසර අවසානයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර 2021 වනවිට ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top