Sep 27, 2020

ජාතික පාසල් පංතිවලට තවත් ළමයි 5ක් වැඩිකරන්න ජීඑල් සැරසෙයි!

ඇතුළත් වීමේ වැඩි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ජාතික පාසල්වල පන්තිවල සෑම පන්ති කාමරයකම උපරිම සිසුන් සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම්වන බව වාර්තා වේ.

SCFR 32/2011 හා SCFR 35/2015 යන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව, මේ වන විට පන්ති කාමරයක උපරිම ළමුන් සංඛ්‍යාව 35 කට සීමා කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා පැවසීය.

අදාළ තීන්දුවට අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2016 සිට 2021 දක්වා එක් දරුවා බැගින් අඩුකර 2021 එකේදී පංතියක සිටිය යුතු උපරිම ළමුන් ගණන 35 කිරීමට පියවර ගෙන තිබූ බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව 2020 දී පන්තිකාමරයක සිටින ළමුන් ගණන 36ක් බවද ඔහු පැවසීය.

මීට අමතරව 2019 දී රාජකීය විදුහලේ ආදි සිසුන් පිරිසක් අභියාචනාධිකරණයට ගොස් මේ තීන්දුව තවත් ශක්තිමත් කර ඇති බවත්, අධ්‍යාපන අමාත්‍යංශය යම් හෙයකින් මෙය උල්ලංඝනය කිරීමට උත්සාහ කළ හොත් අධිකරණයට අපහාස කිරීම යටතේ අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු බලධාරීන්ට නඩු පවරන බවද ස්ටාලිං මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසීය.

කෙසේවුවද, අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහතා ජාතික පාසල්වලට ඇතුළත් වීමේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එම සංඛ්‍යාව නිල වශයෙන් 40 දක්වා ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ඉල්ලා සිටින බව කියා සිටී.

මේ වන විට සමහර පාසල්වල සිසුන් 40 කට වැඩි ප්‍රමාණයක් පන්ති කාමරයක සිටින බව ඔහු සඳහන් කරයි.

කෙසේවුවද, ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම රජය විසින් මේ සතියේ නතර කරන ලදී.

ඒ අනුව, 2 සහ 5 ශ්‍රේණි සහ 7 සහ 10 ශ්‍රේණි අතර ඇතුළත් කිරීම් කළ නොහැකිය.

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ජාතික පාසල් වලට අලුතින් ළමුන් එක් කිරීමට හා ඇමතිලාගේ ලිපි වලට ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමය නැවත හඳුන්වාදීමට මේ පියවර ගැනීමට සැරසෙන බවට ගුරු සංගම්වලින් චෝදනා එල්ලවී තිබේ.

අයදුම්කරුවන්ට තමන් කැමති පාසලකට ඇතුළත් කර ගැනීමට නොහැකි වුවහොත් ගැටළු විසඳීම සඳහා අමාත්‍යාංශ අභියාචනා මණ්ඩලයක් පිහිටවීමට සැලැසුම් කර ඇත්තේද මේ තත්ත්වය මත යැයි ඔවුන් චෝදකර සිටී.

එසේම නැවත ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට අල්ලස් ගැනීම මෙයින් ඉහල යා හැකි බවද ඔවුහු පෙන්වාදෙති.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top