Sep 28, 2020

‘ධනුරොක්'ට කඩු ප්‍රහාරයක්: ආණ්ඩුකාරිය ආරක්ෂාව ඉල්ලා දින 3යි

යාපනයේ ‘ධනුරොක්’ කල්ලි නායක ධනු නමැත්තාට යාපනය ඔරලෝසු කණුව පාරේ පිහිටි පෙරුමාල් කෝවිල අසලදී එල්ල වූ කඩු ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ධනු නමැත්තා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පසුපස හඹා ආ පිරිසක් ඔහුව කඩුවලින් කපා පලා ගොස් ඇතැයි පැවසේ.

එම මෝටර් රථයේ හතර දෙනකු පැමිණ ඇති අතර පොලිසිය විසින් අදාළ මෝටර් රථය සොයාගත් බව කියා සිටී.

එහි ඉදිරිපස වෛද්‍යවරයකුට අයත් මෝටර් රථයක් බව ඒත්තු ගැන්වීම පිණිස වෛද්‍යවරුන් විසින් භාවිත කරන ස්ටිකරයක් අලවා ඇති නමුත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාළ මෝටර් රථය වෛද්‍යවරයකුට අයත් නොවන එකක් බවයි.

පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සිද්ධිය වූ ස්ථානයට පැමිණ කළ පරීක්ෂණවලදී මෝටර් රථය තුළ තවත් කඩු දෙකක් තිබූ බයද තහවුරු කරගෙන ඇත.

මෝටර් රථයෙන් පැමිණි පිරිස මුලින්ම යතුරුපැදියේ ගමන් කරමින් සිටි ධනු නමැත්තාව හප්පා ඔහු බිම වැටුණු පසුව කඩු ප්‍රහාර එල්ලකර ඇති බවට ද පොලිසිය තොරතුරු හෙළිකරගෙන තිබේ.

‘ධනුරොක් ’ කල්ලිය යනු යාපනයේ මුලින්ම බිහි වූ ‘ආවා කල්ලිය‘ නමැති කල්ලියෙන් බිඳී ගිය පාර්ශවයකි.

මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි යාපනයේ ආරක්ෂාවට විශාල බාධාවක් වී ඇති බැවින් එම කල්ලි වහාම මර්දනය කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී. එස්. එම්. චාර්ල්ස් මහත්මිය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කොට දින තුනක් ගත වීමටත් පෙර මේ සිදුවීම යාපනය නගරයේදී මහ දවල් සිදුව තිබීම ද විශේෂ සිද්ධියකි.

යාපනය පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top