Sep 30, 2020

ඩිස්නි සේවකයන් 28,000ක් ගෙදර යවයි

සිය සමාගමේ සේවය කරන 28,000ක් සේවයෙන් ඉවත් කරන බව වෝල්ට් ඩිස්නි සමාගම නිවේදනය කරයි.

ඒ අතරින් වැඩි ප්‍රමාණයක් ඇමෙරිකාවේ පිහිටි ඩිස්නි විනෝදාස්වාදන උද්‍යාන හෙවත් ඩිස්නිලන්ත සේවකයන් වේ. ඉන් 67%ක් ද අර්ධ කාලීනව වැඩ කරන සේවකයන් වේ.

Covid-19 වසංගතය තව කෙතරම් කාලයක් පවතියිද යන කරුණේ අවිනිශ්චිත බව හා  ඩිස්නිලන්ත කරා ඇදී එන සෙනග සීමා වීම, මෙම තීරණයට හේතුවී ඇතැයි පැවසේ.

Covid-19 වසංගතය ලොවපුරා පැතිරයාමත් සමග සියලු ඩිස්නිලන්ත වසා දැමීමට වෝල්ට් ඩිස්නි සමාගමට සිදුවිය. මේ වන විට කැලිෆෝනියාවේ ඩිස්නිලන්තය හැර අනෙකුත් උද්‍යාන සියල්ලම යළිත් විවෘත කර ඇත.

කෙසේවෙතත්, සෞඛ්‍ය ප්‍රතිපත්තීන් වලට අනුකූලව සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමට ඩිස්නිලන්තය කරා පැමිණෙන ජනකාය සීමා කර ඇත.

මේ වසරේ ජුනි 27න් අවසන් වූ කාර්තුවේදී ඩිස්නි සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7ක් පාඩු ලබා ඇති අතර, එය පසුගිය වසර හා සැසඳීමේදී 85%ක ආදායම් අඩුවීමකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top