Sep 30, 2020

වෙබ් මාධ්‍යවේදී චතුරංගට ඇප දෙයි!

අධිකරණ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන් රක්ෂිත බන්ධනාගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතාට කොන්දේසි මත අප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (30) නියෝග කළේය.

ඒ අනුව සැකකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද ඔහුට නියෝග කළේය.

පරීක්ෂණ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙසත් එසේ බාධා සිදුකරන බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් දැනට නියම කර ඇති ඇපය අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට අවවාද කර සිටියේය.

පසුගිය අගෝස්තු මස 31 වැනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ඉකුත් සැප්තැම්බර් 01 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියේය.

ඔහුට එරෙහිව එම ඒකකය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ චෝදනා වුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ යටතේ අධිකරණයට බලපෑමක් වන ප්‍රවෘත්ති සිය වෙබ් අඩවියේ පළකිරීම, එම වෙබ් අඩවියේ ඇඞ්මින් (පාලක)වරයා ඔහු බව පිළිගැනීම හා පරිගණක අපරාධ පනතේ 6 වගන්තිය යටතේ රටේ පොදු යහපත අස්ථාවර කිරීමට කටයුතු කිරීම යන්නයි.

අධිකරණ සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස පරීක්ෂා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාල ඒකකයේ නිලධාරීන් ඔහුගේ පරිගණක, ජංගම දූරකථන හා අනෙකුත් උපාංග සිය බාරයට ගනිමින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යැයි කියා රැගෙන ගොස් තිබිණ.

මේ නඩුව, ලබන ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top