Oct 10, 2020

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමට පෞද්ගලික සමාගම්වලට දී තිබූ අවසරය ඉවතට

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ කටයුතු වලට පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන කළ වැඩපිළිවෙළ වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

නිරෝධායන ආරක්ෂිත ක්‍රම වේදයන් අනුගමනය කළ යුතු වූ මෙම වැඩපිළිවෙල ඒ අයුරින් සිදු නොවීමත් ඒ පසුපස ඇතැම් මූල්‍ය අක්‍රමිකතා සිදු වෙමින් පවතින බවට ලද බුද්ධි අංශ වාර්තා පදනම් කර ගනිමින් මෙය අත්හිටුවීමට තීරණය කර ඇති බව පැවසේ.

මේ අතර ඇතැම් ආයතන නිරෝධායන නීති  උල්ලංඝනය කරමින් කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒමේදී ගුවන් යානයේ ආසන සංඛ්‍යාව හරි අඩක් වන පරිදි දුරස්ථභාවය පිළිබඳව සෞඛ්‍ය නීති රීති වලට අනුව මගින් ගෙන්වාගත යුතු වුවද සමස්ත ආසන සංඛ්‍යාවට අදාල වන පරිදි මගින් ගෙනැවිත් තිබෙන බවද මේවන විට හෙළිව තිබේ.

කෙසේ වුවද  ගුවන් ගමන් සැලසුම් කිරීමේදී ඒ සඳහා යොදාගත් ගුවන් සමාගම් එක් මගියෙකුගෙන් ආසන දෙකක් සඳහා යන වියදම ගුවන් ගාස්තු ලෙස ලබාගෙන ඇතැයි ද මේ වන විට හෙළිව ඇත .

මේ අතර ඇතැම් සමාගම් ශ්‍රී ලාංකිකයන් නිරෝධන ක්‍රියාවලියේදී එක් අයෙකුගෙන් රුපියල් 12,500 ක මුදලක් අයකර එම පහසුකම් සැලසිය යුතු වුව ද එක් කාමරයක දෙදෙනා බැගින් යොමුකර අයුතු ලාභ උපයා ඇති බව ද බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය ජූලි මාසයේ සිට මෙම වැඩපිළිවෙල  ක්‍රියාත්මකව තිබූ අතර අදාළ පෞද්ගලික සමාගම් එම රටවල තානාපති සබඳතා භාවිතා කරමින් මෙරටට පැමිණීමට නියමිතව සිටි ලාංකිකයන්ගේ තොරතුරු ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන ඒමේ කටයුත්ත සඳහා සමාගම් හතක් මැදිහත්ව සිට ඇතැයි වාර්තා වේ.

ඇවන්ට්ගාර්ඩ් සහන

ඒ අතර බ්‍රැන්ඩික්ස්, ජෝර්ජ් ස්ටුවර්ට්, හයර්ස්ටා, ඇවන්ට්ගාර්ඩ් මෙරිටයිම් සර්විසස් හා වන් ලංකා වැනි ආයතනද ඇති බව පැවසේ.

කෙසේවුවද, ඇවන්ට්ගාර්ඩ් වැනි සමාගම් මෙසේ විදෙස්ගත ශ්‍රී ලාංකියන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී විශාල සහන ලබාදුන් බව එම සමාගම් ෆේස්බුක් පිටුවේ දක්වා තිබේ.

එහි දක්වා ඇත්තේ එක්සත් අරාබි එමීර්හි සිටි ශ්‍රී ලාංකිකයන්  150 කට ගුවන් ටිකට් පත්, පීසීආර් පරීක්ෂණ, නිරෝධායන සහ ප්‍රවාහන පහසුකම් ලබාදුන් බවයි. 

එම කාරණාව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා සමඟ සිදු කළ ලිපි ගනුදෙනුවකින් පෙන්වා දී තිබේ.

මීට අමතරව එහි දැක්වෙන්නේ ඕමානය හා සෞදි අරාබිය යන රාජ්‍ය වල සිට පැමිණෙන එක ගුවන් යානයකට අසීරුතාවලට මුහුණ දී සිටින මඟීන්ගෙන් 50 කට ගුවන් ටිකට් පත්, පීසීආර් පරීක්ෂණ, නිරෝධායන පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් නොමිලයේ සැපයෙනු ඇති බවයි.එසේම ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය, ඉතාලිය, දකුණු කොරියාව, ජපානය, අමරිකාව, ජර්මනිය සහ ප්‍රංශයේ සිට පැමිණෙන මඟීන්ගෙන් වඩාත් අසීරුතාවලට මුහුණ දී සිටින අය 15 දෙනෙකුට නොමිළයේ ගුවන් ටිකට් පත්ද, 50 දෙනෙකුට පීසීආර් පරීක්ෂණද, 50 දෙනෙකුට නිරෝධායන පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් නොමිලයේ සැපයෙනු ඇති බවයි.

ඇවන්ට්ගාර්ඩ් සමාගම නෙමිළයේ ලබා දුන් සහනයන් ලැබ මෙරටට පැමිණි හාරසියයකට ආසන්න පිරිසක් මේ වන විටත් නිරෝධායනට යොමු කර ඇතැයිද එහි දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top