Oct 15, 2020

අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රිෂාඩ්ගෙන් පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා අද (15) ඔහුගේ නීතිඥවරුන් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඔවුන් පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම සේවාදායකයාව අත්අඩංගුවට ගැනීමට උත්සහ කරන බවය.

පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ ඉකුත් ජනාධිපතිවරණය දිනයේ දී අවතැන්වූ ඡන්දදායකයින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බවය.

පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා පෙන්වා දෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බවය.
අභ්‍යන්තර අවතැන් වූ ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුවේ අවතැන්වූවන් පිළිබඳ ව නැවත පදිංචි කිරිමේ ව්‍යාපෘතිය යටතේ පවතින ප්‍රතිපාදන යොදාගනිමින් යැයි ඔහු පෙන්වා දෙයි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ, විමර්ශන සිදුකරන උප පොලිස් පරීක්ෂක ගාමිණී ඇතුළු හත් දෙනෙකු නම් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top