Oct 16, 2020

බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් Featured

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

මෙම 20 වැනි සංශෝධනය මගින් අත්තනෝමතික ලෙස විධායකය මෙහෙය විය හැකි වූත් ව්‍යවස්ථා දායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් වූ බලයක් සහිත ජනාධිපතිවරයෙකු හා දුබල අමාත්‍ය මණ්ඩලයක් බිහිකරන බව උන්වහන්සේලා එම ලිපිය මගින් අවධාරණය කරයි. 

එමගින් අග්‍රාමාත්‍යවරයාගේ බලය හා ස්ථාවරත්වය හීන කරවන, අමාත්‍යවරුන් හා අමාත්‍ය බලතල තම අබිමතය අනුව ඕනෑම වේලාවක වෙනස් කිරීමට ජනාධිපතිට බලය ලැබෙන බවද සඳහන් වේ.

ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති වගකීම් රාශියක් ඉවත් කර ඇති අතර ජනාධිපති ධුරය දරන්නා විසින් කරනු ලබන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අධිකරණය හමුවේ අභියෝග කිරීමේ අයිතිය ද ජනතාවට අහිමි කර තිබෙන බව ජනාධිපතිවරයා වෙත යොමු කළ අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ වනවිටත් රට තුළ ආන්දෝලනයට ලක්ව තිබෙන 20 වන සංශෝධනය ඉදිරිපත් කර තිබෙන ආකරයෙන් සම්මත කරගැනීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බව උන්වහන්සේලා අදාළ ලිපිය මගින් අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා වෙත යොමු කළ මෙම ලිපියේ පිටපත් තෛනිකායික මහ නහිමිවරුන්ට, සෙසු ආගමික නායකයින්ට, අග්‍රාමාත්‍යවරයාට, කතානායකවරයාට සහ මන්ත්‍රීවරුන්ට ද යොමු කර ඇත.

(මූලාශ‍්‍රය - නිව්ස් ෆස්ට්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top