Oct 22, 2020

විස්සට පක්ෂ වෙන විපක්ෂයේ මන්ත්‍රීලා මෙන්න!

විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) රාත්‍රී සිදුකිරීමට නියමිත අතර විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙකුගේ සහයෙන් එය සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය සූදානම්කර ඇතැයි වාර්තා වේ.

විපක්ෂයේ සහයෝගී සංයුතිය මුස්ලිම් මන්ත්‍රීවරු සය දෙනෙකුගේ එකතුවෙන් සැකසෙන බවද පැවසේ.

විසිවන සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවයට අදාල කාරණයෙන් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට ඒමට ඉඩදෙනවද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජාතිවාදී අදහස් දරණ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුගේ විරුද්ධත්වයට හේතුවී තිබුණද මේ වන විට එම විරෝධයද පස්සට තල්ලු වී ඇතැයි ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, 20 ට පක්ෂව ඡන්දය ලබාදෙන මන්ත්‍රීවරුන් ලෙස සමාජ මධ්‍යයේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරු 11 දෙනෙකුගේ නම් සංසරණය වෙමින් තිබේ. 

ඒ අනුරාධපුර මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම මන්ත්‍රී මොහොමඩ් අලි සබ්‍රි, මඩකලපුව මන්ත්‍රී මොහොමඩ් නසිර්, දිගාමඩුල්ල මන්ත්‍රී මොහොමඩ් හාරිස්, දිගාමඩුල්ල මන්ත්‍රී ෆයිසාල් කාසීම්, දිගාමඩුල්ල මන්ත්‍රී මොහොමඩ් මුෂාරෆ්, ජාතික ලයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ හා පොළොන්නරුව මන්ත්‍රී කිංස්ලි නෙල්සන්, රත්නපුර මන්ත්‍රී හේෂා විතානගේ, අනුරාධපුර මන්ත්‍රී රෝහණ බණ්ඩාර හා බදුල්ල මන්ත්‍රී චමින්ද විජේසිරි යන පිරිසයි.

මේ අතරින්, රත්නපුර මන්ත්‍රී හේෂා විතානගේ, අනුරාධපුර මන්ත්‍රී රෝහණ බණ්ඩාර හා බදුල්ල මන්ත්‍රී චමින්ද විජේසිරි ආණ්ඩු පාර්ශවයට සහය නොදෙන බවට ද ප්‍රකාශ සිදු කර තිබේ.

ඩයනා නෑ !

මේ අතර, විසිවන සංශෝධනයට පක්ෂව තම පක්ෂයේ කිසියම් මන්ත්‍රීවරයකු ඡන්දය දුන්නොත් වහාම එවැනි මන්ත්‍රීවරයකු පක්ෂයෙන් නෙරපා හැරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය දරන සමගි ජන බලවේගය තීන්දු කර ඇතැයි වාර්තා වේ.

මෙම තීරණය ගෙන ඇත්තේ අද (22) උදැසන පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය.

එම රැස්වීමට විසිවන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව කියන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහභාගී වී නොමැත.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top