Oct 23, 2020

සිල් රෙදි නඩුවේ අභියාචනාවල තීන්දුව සති 3කින්

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර 3ක සිර දඬුවම් නියම වී දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පිළිබඳ තීන්දුව නොවැම්බර් මස 13 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අද (23) අභියාචනාධිකරණය නියෝග කළේය.

තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්කරන  ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබේ.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් කෝටි 60කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේයැයි චෝදනාකරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.  

මෙම අභියාචනා පෙත්සම් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබීය.

එම අභියාචනාවලට අදාළ වාචික දේශන ඉදිරිපත්කිරීම පසුගියදා අවසන් වු අතර ඊට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා 26 වැනිදා ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top