Oct 24, 2020

Covid-19 සමාජගතවෙලා - තිස්ස විතාරණ (වීඩියෝ)

Covid-19 වෛරසය සමාජගත වී ඇතැයි තමාගේ මතය බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ Covid-19 වසංගතය සම්බන්ධයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

වෛරස් විද්‍යාඥයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) හිටපු ප්‍රධානියෙකුද වේ.

මෙම වෛරසය නව වෛරසයක් බැවින් කිසිවෙකුට ඊට එරෙහිව ලෝවැසියන් අතර ප්‍රතිශක්තියක් නොමැති බවත්, එබැවින් මෙම වෛරසය වර්ධනය වීම පුදුමයක් නොවන බවත් ඔහු පැවසීය.

"ජනතාවටත් තේරුම් ගන්න වෙනවා තමන්ගේ අතේ තමයි හැකියාව තියෙන්නෙ මේ වෛරසය එක්කෝ නතරකරන්න නැත්තම් ඒක වැඩිකරන්න," යැයි ඔහු පැවසුවේය.

"කාටවත් මේවා ගැන දොස් කියන්න ඕන නෑ. විද්‍යානුකූලව අපි කටයුතු කළෝතින් මේ ප්‍රශ්ණය විසඳීමට අපට ගමන් කරන්න පුළුවන් වේවි. ඒක කිරීමට අපි සියළුදෙනාම සමාජයක් හැටියට එක්ව කටයුතු කරන්න ඕන."

මේ සඳහා දැනට එන්නතක් නොමැති බවත්, තවත් කාලයක් ගතවන තුරු එන්නතක් ඇති නොවන බවත් පැවසූ විතාරණ මහතා, එබැවින් වැඩි බරක් දිය යුත්තේ මෙය වළක්වාගැනීමේ පැත්තට බව කියා සිටියේය.

"මගේ මතය නම්, මේක සමාජගතවෙලා තියෙනවා. ඒ පදනමින් මේක දිහා බලලා ක්‍රියාකළෝතින් එහෙනම් වැඩිය ඵලදායී වෙයි... ජනතාවටත් ඒ අදහස දුන්නොතින් ජනතාවත් වඩා ප්‍රවේසම් වෙයි, යැයි" ඔහු අවසන්වරට පවසා සිටියේය.

එම මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ කථාව පහතින් දැක්වේ.

ඊයේ දිනයේදී Covid-19 ආසාදිතයන් 865ක් වාර්තා වූ අතර, එය මේ දක්වා දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම Covid-19 ආසාදිතයන් ප්‍රමාණයයි. මෙරටින් හමුවන ආසාදිතයන් ගණන පසුගිය සති කිහිපය පුරාවට වැඩිවී තිබුණද, රජයේ සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම කියා සිටියේ මෙම රෝගය සමාජගතවී නැති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top