Oct 24, 2020

මධූෂ්ගේ කෝටි 100ක් හා වාහන රැසක් වෙනත් අය ළඟ - ඝාතනයක් නොවූ බව දේශබන්දු කියයි Featured

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වූ මාකඳුරේ මධූෂ්ට අයත් ඩුබායි හී සිටියදී විවිධ ජාවාරම් මඟින් ඉපැයූ රුපියල් කෝටි 100ක ආසන්න මුදල් වෙනත් හත්දෙනෙකුගේ ගිණුම්වලට යොමු කර ඇති බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

එම මුදල් ලබාගත් හා ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ මේ වන විටත් අනාවරණය කරගෙන ඇති බවද පැවසේ.

ඉදිරියේදී ඒ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවේ.

වාහන රැසක් පුද්ගලයින් නවදෙනෙකුගේ නම්වලින්  

කප්පම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල්වලින් ඔහු විසින් මිලට ගත් වාහන රැසක් මෙරට විවිධ පුද්ගලයින් නවදෙනෙකුගේ නම්වලින් ලියාපදිංචි කර ඇති බවද ඒ සම්බන්ධයෙන්ද මේ වන විටත් විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

මධූෂ්ව ඝාතනය කලේ නෑ -  බ. ප. භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

පොලිසිය විසින් මාකඳුරේ මධූෂ් ඝාතනය නොකළ බවත් මධූෂ් සමග කිසිදු තොරතුරක් පොළොව යට වැළලෙන්නේ නැති බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මාකඳුරේ මධූෂ් විසින් අනාවරණය කරන ලද නම්, ගම්, දේපල, ආයුධ, මත්ද්‍රව්‍ය ජාලවල තොරතුරු සියල්ල පොලිසිය සතුව ඇති අතර නමුත් තමන් එම තොරතුරු දැන්ම හෙළි කරන්නේ නැති බවද අවශ්‍ය විට සියල්ල අනාවරණය කරන බවද ඒ මහතා පවසයි.

වසර එකහමාරක් තිස්සේ රහස් පොලිසියේ මධූෂ් රඳවාගෙන කළ දෙයක් නැති බව ඔප්පු වී හමාර බවද ඔහු තවදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top