Oct 25, 2020

මාළු කිලෝ ලක්ෂ තුනහමාරක් බේරුවල හා ගාල්ලේ: මාළු කුණු කොල්ලයට Featured

මත්ස්‍ය කිලෝග්‍රෑම් 350,000ක තොගයක් සහිත බහුදින ධීවර යාත්‍රා 53ක් බේරුවල හා ගාල්ල ධීවර වරායන්හි පවතින බවට වාර්තා වේ.

මේ බව අනාවරණය වූයේ අද (24) ධීවර කාර්මිකයින් හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර පැවැති සාකච්ඡාවකදීය.

Covid-19 ආසාදිතයන් හමුවීම පෑලියගොඩ මතස්‍ය වෙළඳ සැලෙන් ආරම්භ වී ගාල්ල, අම්බලන්ගොඩ, කුඩාවැල්ල, මිරිස්ස, ත්‍රීමලේ ඇතුළු වාරායන් වෙත පැතිර යාමත් සමඟ පාරිභෝගිකයින් මාළු මිලදී ගැනීම සීමා කරමින් සිටින බව පැවසේ.

කුණු කොල්ලයට යන මාළු

මේ අතර, Covid-19 අවදානම හේතුවෙන් මතස්‍ය වෙළඳ සංකීර්ණ වසා දැමීමත් සමඟ මාළු වෙළඳාම ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇතැයි මාළු වෙළෙඳන් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

ඔවුන් පවසන්නේ මාළු කිලෝව රුපියල් 100 කට හෝ විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි. එසේම මාළු තොග මිලද ඉතා පහල අගයකට පත්ව ඇති බව වාර්තා වේ.

ගාල්ලේ මාළු ලක්ෂ 5 නරක් වෙයි?

මේ අතර, ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබූ බෝට්ටු 35ක් මේවන විට ගාල්ල වරායට පැමිණ ඇති බවත්, ඒවා තුළ ද මාළු කිලෝ ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් ඇති බවද පැවසේ.

එම මාළු තොගය නරක්වීමේ අවධානමක් ඇතැයි ද පැවසේ.

සෞඛ්‍ය ඇමතිනියගේ උපදෙස්

මේ අතර ධීවර කාර්මිකයන් හා අමාත්‍යවරිය අතර පැවැති සාකච්ඡාවේදී ධීවර කාර්මිකයින්ට සහ පාරිභෝගිකයින්ට සහන සැළසීමේ අරමුණින් අමාත්‍යවරිය විසින් අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතාට උපදෙස් දී ඇත්තේ ධීවර කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමට ධීවර වරායන් සඳහා විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සකස්කරන ලෙසයි.

මාළු තොග පාරිභෝගිකයින්ට බෙදාහැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය සැළසුමක් කඩිනමින් සකස් කිරීම පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව ඊට අවශ්‍ය මාර්ගෝපදේශ සකස්කර ධීවර අමාත්‍යාංශය හරහා ධීවර වරායන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාවරිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

සහන ඕන - සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය

මේ අතර, සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා අද (24) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ධීවරයින් හා මතස්‍ය ව්‍යාපාරිකයින් රැක ගැනීමට රජය කඩිනම් සහන ලබාදිය යුතු බවයි.

ධීවර සංස්ථාව මැදිහත්ව කල් තබා ගැනීම්, ගබඩා කිරීම් සඳහා වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසත්, එසේම ජනතාවට මෙම මතස්‍ය අස්වැන්න අලෙවි කිරීමට ද වැඩ පිළිවෙලක් සක් කළ යුතු බව ඔහු පෙන්වාදෙයි.

මතස්‍යන්ගෙන් වෛරසය පැතිරෙනවද?

වසංගත රෝග අංශයේ ප්‍රධානී විශෙෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටින්නේ මතස්‍යයින්ගෙන් Covid-19 වෛරසය ව්‍යාප්තවන බවට විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top