Oct 25, 2020

පාර්ලිමේන්තු පොලිස් නිලධාරියකුටත් කොරෝනා!

පාර්ලිමේන්තුවේ පොලිස් බැරැක්කවලට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුට COVID-19 ආසාදනය වී තිබේ.

මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන්ගේ මුළුතැන්ගෙය සහ ආපනශාලාව භාරව සිටි අයටය.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවේ එදිනෙදා කටයුතුවලට විශාල ලෙස සම්බන්ධ නොවූ නමුත් ඔහුගේ සමීප සම්බන්ධතා ඇති අය ලෙස හඳුනාගෙන ඇති තවත් හය දෙනෙකු හෝ හත් දෙනෙකු සම්බන්ධයෙන් PCR පරීක්ෂණ පවත්වා ඇති බවයි.

එම නිලධාරීන් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට ඉඩ කඩ ඇති අය බවත්, එබැවින් ඔවුන්ගේද PCR පරීක්ෂණ සිදු කළ බව ඔහු කියා සිටියේය.

මේවන විට එම පිරිසේ PCR පරීක්ෂණ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අතර තවත් ද්වීතීක සම්බන්ධතා ඇති නිලධාරීන් 30කට ලබන අඟහරුවාදා PCR පරීක්ෂණ සිදු කරන බවද පැවසේ.

මේ පොලිස් නිලධාරියා මුළුතැන්ගෙය සඳහා මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මාළු වෙළඳපොළට ගොස් ඇති අයෙකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top