Oct 25, 2020

ආර්ථික වර්ධනය සෘණ: ණය ගෙවීම ධණ: කොවිඩ් ආධාර බිලියන 82ක කෝ? Featured

Covid-19 වසංගතයේ අහිතකර ආර්ථික බලපෑම් හේතුවෙන් මේ වසරේ (2020) ආර්ථිකයේ සංකෝචනයක් සිදුවෙමින් සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂිතය.

මේ වසරේ (2020) පළමු කාර්තුවේ සෘණ 1-6 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ අතර Covid-19 වසංගතයේ වැඩිම බලපෑමට ලක්වූ දෙවැනි කාර්තුවේදී ඊට වඩා ඉහළ සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති.

කොරෝනා දෙවැනි රැල්ලේ ආර්ථික බලපෑම් මිනුවන්ගොඩ කොරෝනා පොකුර නිසා තවත් උග්‍ර වූ අතර එමගින් ආර්ථිකය යළි පණ ගැන්වීමේ ක්‍රියාවලියට බාධා ඇතිව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වර්ෂය (2020) සඳහා වන නවතම ආර්ථික වර්ධන පුරෝකථනය නොවැම්බර් මස එළිදක්වන මෑතකාලීන ආර්ථික ප්‍රවණතා වාර්තාව සමග ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 ණය ගෙවීම ධණ

මේ අතර, විදේශ රටවලින් හා විදේශ ණය ආයතනවලින් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණයවල වාරික හා පොලී ලෙස මෙම වර්ෂයේ ගෙවිය යුතු මුදල්වලින් මේ වනවිට ඇමරිකන් ඩොලර් බිලියන 4.2ක් ගෙවා ඇති බව මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග වලින් වාර්තා වන බව ඉරිදා අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

ගෙවුණු මාස දහය තුළ අදාළ ණය වාරික හා පොලී ගෙවා ඇති බවද එහි දැක්වෙන අතර මුළු ලෝකයේම නව Covid - 19 ව්‍යාප්තිය පැතිර ඇති මොහොතක විදේශ රටවල් ණය හෝ ආධාර මුදල්ද, ණය ලබා දෙන ආයතනද ණය මුදල් ලබා නොදෙන තත්ත්වයක අදාළ මුදල් වාරික ගෙවීම ජයග්‍රහණයක් බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළ බවද එහි දැක්වේ.

මෙම ණය වාරික ගෙවා ඇත්තේද රට තුළට විදේශික සංචාරකයන් නොයෙන තත්ත්වය මත වි‍දේශ ආදායමද පහත බැස තිබියදී රටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, ඖෂධ ආනයනය කරන අතර බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.

කොරෝනා විදෙස් ආධාරවලට මොකද වුණේ?

මේ අතර, Covid-19 ලංකාවට බලපෑම් කළ දින සිට මෙරටට ලැබුණු ආධාරවලට සිදුවූයේ කුමක්දැයි විපක්ෂය ප්‍රශ්න කරමින් සිටී.

Covid -19 වෛරසය ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන ආධාර සහ ණය ලෙස රජයට ඩොලර් කෝටි 45කට අධික මුදලක් හෙවත් රුපියල් බිලියන 82 අධික මුදලක් ලැබී ඇතැයි පැවසේ.

මේ තොරතුරු අයිතිය උදෙසෙ මාධ්‍යවේදියෝ සංවිධානයේ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාගෙන ඒය ප්‍රසිද්ධියට පත්කර තිබිණි.

ඒ අනුව, Covid -19 වෛරසය ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන මගින් විටින්විට ශ්‍රී ලංකාවට ආධාර (ප්‍රදානයන්) ලෙස හා ණය ලෙස ඩොලර් 447,038,886ක් ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ Covid –19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල වෙත ලැබී ඇතැයිද තොරතුරු දැනගැනීමේ පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විමසීමේදී අනාවරණය වී තිබේ.

එසේම මෙහිදී ප්‍රදානයන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඩොලර් මිලියන 1.9ක්, එක්සත් ජාතීන්ගේ අරමුදලින් ඩොලර් 212,260ක්, යුනිසෙෆ් ආයතය මගින් ඩොලර් 60000- 65000ක්, ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 5,000,000ක මුදලක් සහ ගෝලීය අරමුදල මගින් ඩොලර් 1,194,424ක්ද ලැබී තිබේ.

එමෙන්ම ණය මුදල් ලෙස ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 10,000,000 ප්‍රමාණයක් හා ලෝක බැංකුව මගින් ඩොලර් 128,000,000ක මුදල් ප්‍රමාණයක්ද ලංකාවට ලැබී ඇත.

ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් ඇමෙරිකානු ඩොලර 634918.59 ක මුදලක් ලැබී ඇති අතර ආියිනු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් 300,000,000 ක මුදලක් ලැබී තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණ එම මුදලින් ඩොලර් 150000000ක් වෙන් වී ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය, සමාජ ආරක්ෂණය හා සංචාරක ක්ෂේත්‍ර සඳහාය.

PCR පරීක්ෂණ වියදම

එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පසුගිය 17 වැනිදා දිනය වනවිට පී.සී.ආර්. පරීක්‍ෂණ 388,149ක් සිදුකර තිබෙන අතර, ඒ සඳහා දළ වශයෙන් ඩොලර් එක්කෝටි විසිතුන් ලක්‍ෂයකට අධික මුදලක් වැය වී තිබේ.

මෙම පී.සී.ආර්. පරීක්‍ෂණ තුළින් පසුගිය ජූලි 25 වැනිදා දක්වා පරීක්‍ෂණ 153,022ක් සිදුකර තිබෙන අතර, අනෙකුත් පී.සී.ආර්. පරීක්‍ෂණ 235,127ක් සිදුකර ඇත්තේ, එතැන් සිට ඔක්තෝබර් මස 17 වැනිදා දක්වා ය. මීට අමතරව බොහෝ දෙනෙකු තම පෞද්ගලික වියදමින්ද පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකර ගෙන ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතාගෙන් සිදුකළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ,

"සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා හැරුණු කොට මෙම අරමුදල් පී.සී.ආර්. පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ පහසුකම් වැඩි කිරීම සඳහා යාපනයේ හා මඩකලපුවේ පර්යේෂණගාර වැඩිදියුණු කිරීමටත්, පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා ලබාගන්නා උපකරණ සඳහාත් යොදාගත්තා.

අපි සමාජය දැනුවත් කිරීම් කටයුතු සඳහාද මෙම මුදල් භාවිත කරලා තියෙනවා. ඊට අමතරව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සකස් කරන ලද රූපවාහිනී දැන්වීම් කිහිපයක් සඳහාද මෙම මුදල් යොදවා තියෙනවා. එමෙන්ම අදාළ උපකරණවලට අමතරව දිනකට විශාල මුදලක් වැය වෙනවා.

එමෙන්ම සෞඛ්‍ය හැරුණු කොට ඒ සඳහා පත් කරගෙන සිටින කමිටුවක් මගින් වෙනත් ක්ෂේත්‍ර සඳහාද මෙම මුදල් වැය කරනවා. ඒ සම්බන්ධයෙන් මම දැනුවත් නැහැ* යනුවෙනි.

තොරතුරු දැනගැනීමේ පනතට අනුව කෝවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලේ ශේෂය කොපමණද යන්න හා එම මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් අද පුවත්පත විමසීමක් සිදු කර ඇති අතර, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශය මෙතෙක් ඊට පිළිතුරු ලබා දී නොමැති බවද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top