Oct 26, 2020

Covid දෙවැනි රැල්ලේ මුල බුද්ධි අංශ සොයාගෙන: ඕමාර් බේරෙයි? Featured

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

අරුණ පුවත්පත මෙය වාර්තා කර ඇති අතර මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී ඇති බවද පැවසේ.

එම වාර්තාව මෙසේය.

"මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී ඇත.

ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලය ද නිරෝධානය විය යුතුය.

ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.

හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති.

එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත.

හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.

සැප්තැම්බර් - 11/13 - හෝටල් සේවකයන් 5කට කොරෝනා

නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති.

හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.

තුර්කි කොරෝනා වෛරස් ධාරිතාව වැඩියි

‘‘මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වයිරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29ත් 31ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් වයිරසය ලෝඩ් එක 29ත් 31ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.’’ යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළහ.

එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ.

සැප්තැම්බර් - 16 - බ්‍රැන්ඩික්ස් රෝග ලක්ෂණ

බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියාට සැප්තැම්බර් 21 වැනි දා රෝග ලක්ෂණ පහළ වී ඇත. එම කාන්තාවට සැප්තැම්බර් 16 වැනිදා වන විටවත් රෝගය ආසාදනය වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ.

ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය.

දෙවැනි රැල්ලක් නිර්මාණය වූ මෙම කොවිඩ් වයිරසය පැතිරයන ප්‍රමාණය කලින් වතාවට වඩා දෙතුන් සැරයක් බව අනාවරණය වී තිබේ.

දෙවැනි රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ බව ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මත්තල ගුවන් තොටුපොළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පැමිණි මගින් 48ක කාර්ය මණ්ඩලයකින් බව මුලදී සඳහන් විය.

එහෙත් මෙම පිරිස විශාඛාපට්නම්හි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් දෙවැනි රැල්ල ව්‍යාප්ත වන විටත් දකුණේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි බව පසුව තහවුරු විය.”

ඔක්තෝබර් 07 - මූලාශ්‍රය සෙවීම අපහසුයි

මේ අතර, පසුගිය ඔක්තෝබර් 07 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ මූලාශ්‍රය සෙවීමේ යම්කිසි අපහසුතාවක් මේ අවස්ථාවේ ඇති බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

රසායනාගාර වගකිව යුතුයි !

මේ අතර, "තරු හෝටල් වල - සුපිරි නිරෝධායනයට" ඉඩ හැර බකං නිලාගෙන සිටි සෞඛ්‍ය බලධාරීන් ඇතුළු, "පෞද්ගලික අංශයට PCR අවසරයදී" මඩිය තර කර ගත් රසායනාගාර ලොක්කන්, ව්‍යසනයට වග කිව යුතුයතු බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමදේශ් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටී.

කෙසේවුවද, දෙවැනි කොරෝනා රැල්ලේ ව්‍යාප්තියට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් හි හිමිකරු ඕමාර් අශ්රොෆ් ඇතුළු එහි පාලනාධිකාරිය වගකිව යුතු බව වෘත්තීය සමිති අදහස වී තිබේ.

ඒ අදාළ කාන්තාව ඇතුළු එහි සේවය කළ පිරිසක් අසනීප තත්ත්වයෙන් පෙළෙමින් සිටියදී වැඩ ගැනීම නිසා යැයි ඔවුන් පෙන්වා දෙති.

වහල්ලු

මේ අතර, නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මහතා මෙම සිදුවීමෙන් පසුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ ඛේදවාචකය සේවක සේවිකාවන් නූතන වහලූන් ලෙස යොදා ගැනීම ගැන බොහෝ දේ කියන්නක් බවයි.

සබැඳි පුවත්
බ්‍රැන්ඩික්ස් ඛේදවාචකය, නූතන වහලූන් ගැන කියාපාන්නක් - ඇන්ටන් මාකස්

බ්‍රැන්ඩික්ස් ලොක්කා..කව්ද මේ ඔමාර්

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top