Oct 27, 2020

කොරෝනාවලට පැණි දුන්නොත් දොස්තරකම ඉවරයි: ලෙඩ්ඩු 10කට ආයුර්වේද ප්‍රතිකාර Featured

කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නවීකරණය කරන ලද "සුදර්ශනී පැනිය" නැමැති ආයුර්වේද ඖෂධය රෝහල්වල භාවිතයට ගන්නැයි යෝජනාවීම බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන්ට නෛතික හා ආචාර ධර්ම පිළිබඳ ගැටළු රැසක් මතුකරනු ඇතැයි ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා කියා සිටී.

බටහිර හා ආයූර්වේද වෛද්‍ය ක්‍රම ප්‍රධාන වෛද්‍ය ක්‍රම ප්‍රවාහයන් දෙකකක් බවද ඔහු පෙන්වා දෙයි.

මෙම වෛද්‍ය ක්‍රම දෙක අතර මූලික සංකල්පමය වෙනසක් පවතින බවත්, බටහිර වෛද්‍ය ක්‍රමයෙහි රෝගීන් සඳහා යම් ඖෂධයක් භාවිතා කිරීමට ප්‍රථම එම ඖෂධය පර්යේෂණ රාශියකට භාජනයට ලක්කළ යුතුව ඇතැයි ද අමරසිංහ මහතා සඳහන් කරයි. (ඒවා Clinical Trail (සායනික පර්යේෂණ) ලෙසින් හඳුන්වන බවද ඔහු කියයි.)

මෙම සායනික පර්යේෂණ වල පර්යේෂණ මට්ටම් ඇති අතර, ස්ථර කිහිපයකින් ඒවා සමන්විත බවත් ඔහු සඳහන් කරයි.

එසේම මෙම ස්ථර කිහිපයක පර්යේෂණ මට්මමෙහි අත්හදා බැලීමෙන් පසුව යම් ඖෂධයක් රෝගීන් සඳහා භාවිතා කළ හැකිද? එම ඖෂධයේ අතුරු ආබාධ මොනවාද ? එම ඖෂධයෙහි ඖෂධ විද්‍යාත්මක ගුණයක් තිබේද? යන්න පරික්ෂාක් සිදුවන බවද වෛදවරයා සඳහන් කළේය.

එම ඔසුව භාවිතයට ගැනීමට නම් මෙම පරික්ෂාවලින් අනතුරුව එම ඖෂධය මිනිස් භාවිතයට සුදුසු බවත්, මෙම ඖෂධය භාවිතා කිරීමෙන් අතුරු ආබාධ ඇති නොවන බවත්, එම ඖෂධය යොදා ගන්නා රෝගය සඳහා අවශ්‍ය සුව කිරීමේ හැකියාව ඇති බවත් සනාථ විය යුතුව ඇතැයි ද අමරසිංහ මහතා පෙන්වාදෙයි.

ඒ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

"ඉන් අනතුරු මෙම ඖෂධය යම් කිසි රටක ඔෂෟධ නියාමන අධිකාරියෙහි ලියාපදිංචි කළ යුතුයි. මෙසේ ලියාපදිංචි කිරීමකින් තොරව භාවිතා කරන ඖෂධයක් නීති විරෝධී ඖෂධ්‍යක් ඝණයට යටත් වෙනවා. එවැනි ඖෂධ්‍යක් භාවිතා කරන වෛද්‍යවරු ඖෂධ නියාමන නීතිරීති කඩන්නකු බවට වෙනවා.

එසේ නම් මෙම “සුදර්ශන පැණිය“ බටහිර රෝහල් වල භාවිතා කිරිමට ප්‍රථම එය පිළිබඳ නිසි පර්යේෂණ ක්‍රමවේදයන් අනුගමනය කොට ඉන් අනතුරුව ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධයක් ලෙස එය ලියාපදිංචි කළ යුතුයි. මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඖෂධවේදය පිළිබඳ විශේෂඥවරුන්ට වැඩි දැනීමක් තිබිය යුතුයි."

නොදන්න බෙහෙත් දුන්නොත් දොස්තරලගේ ලයිසන් කෑන්සල්

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් බටහිර වෛද්‍ය ක්‍රමය තුළ හොඳින් පුහුණුව ලැබූ වෛද්‍යවරයකුට තමන් පුහුණුව නොලැබූ වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් භාවිතා කිරීම තහනම් කර ඇති බවයි.

මෙම කරුණ ලොවෙහි අනෙකුත් වෛද්‍ය සභා පවා දැඩිව අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තියක් බවද ඔහු පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් 2000 වසරේ සැප්තැම්බර් මස නිකුත් කර තිබෙන උපදෙස් පොතට අනුව බටහිර වෛදවරයෙක් තමන් උගත් නුගත් හෝ පුහණුවක් නොලැබූ හෝ අත්දැකීම්ක් නොලැබූ වෛද්‍ය ක්‍රමයක යෙදීම හෝ භාවිතා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක් ගණයට වැටෙන වරදක් බවද ඔහු කියා සිටී.

මෙසේ බරපතල වෘත්තිමය අපචාරයන් ලෙස සඳහන් වන්නේ එවැනි ක්‍රියාවක නියුතු වූ බටහිර වෛද්‍යවරයකුගේ ලියාපදිංචිය තහනම් කිරිම පවා වෛද්‍ය සභාවට හැකියාවක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එම නිසා තමන් උගත්කමක් නොලැබූ, තමන‍ෙ අත්දැකීමක් නොලැබූ ඖෂධයක් භාවිතා කිරීම බරපතල වරදක් බවද ඔහු පෙන්වා දෙයි.

ඇතුම් විට මෙම කරුණ නොසලකා එක් වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරුන් සමූහයක් හෝ වෛද්‍ය සේවයක් කටයුතු කළහොත් එයින් සිදුවන්නේ ලංකාවේ බටහිර වෛද්‍යවරන්ට හා බටහිර වෛද්‍ය සේවයට ලොවෙහි අනෙක් බටහිර වෛද්‍ය සේවයන් අතර ඇති පිළිගැනීම නැතිව ගොස් එය හෑල්ලූ වීමක් බවද ඒ මහතා සඳහන් කරයි.

කොරෝනා රෝගීන් 10කට ආයුර්වේද ප්‍රතිකාර

රජයේ නිල ප්‍රවෘත්ති ද්වාරය වාර්තා කර තිබුණේ නවීකරණය කරන ලද “සුදර්ශනී පැණිය” උණ රෝගය, ප්‍රතිශක්තිකරණය නැංවීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව පර්යේෂණ තුළින් සමත් වූ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමනය අමාත්‍යංශය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය අතර කොරෝනා වෛරසය පිළිබඳ මූලික සාකච්ඡාවකදී පැවසූ බවයි.

එම සාකච්ඡාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරු දෙදෙනකු හා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්යවරු දෙදෙනෙකු ද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා, ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගිවී සිටි බවයි.

එසේම ආයුර්වේද රෝහල්වල කොරෝනා රෝගීන් ඇතුළත් කොට ප්‍රතිකාර ලබාදීම සඳහා අමාත්‍යවරයා සමඟ මූලික එකඟතාවයට පැමිණි අතර ඉදිරියේ දී රෝගීන් දසදෙනෙකු බොරැල්ල ආයුර්වේද රෝහලට ඇතුළත් කිරීමේ මූලික එකඟතාවයකටද මෙහිදී පැමිණි බව එහිදැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top