Oct 27, 2020

නාලන්දා විදුහල්පති හදිස්සියේම රිච්මන්ඩ් විදුහලට මාරු කරයි ! Featured

කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වතුහේවා මහතා හිදිස්සියේම ගාල්ල රිච්මන්ඩ් විදුහලට මාරුකර යවා ඇතැයි වාර්තා වේ.

ඒ මහතා මෙසේ රිච්මන්ඩ් විදුහල වෙත මාරුකළ බවට වන ලිපිය ලබාදී ඇත්තේ ඊයේ (26) වන අතර අද (27) එම විදුහලේ වැඩ බාරගන්නා ලෙස අදාළ ලිපියෙන් දන්වා තිබූ බවද පැවසේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන පරිදි ඒ මහතා අද (27) දිනයේ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ වැඩ බාරගෙන ඇතැයි ද වාර්තා වේ.

වතුහේවා මහතා නාලන්දා විදුහලට පත්වීම් ලැබුවේ 2017 වසරේදී වන අතර ඒ වන විට එහි සිටි විදුහල්පතිවරයාට විවිධ දූෂණ චෝදනා එල්ලවී තිබිණි.

විදුහල්පතිවරයා මෙසේ හදිස්සියේම මාරුකර යවා ඇත්තේ ලබන වසරට (2021) පළමු ශ්‍රේණියට ලමුන් ඇතුළත් කර ගැනීමට ඔන්න මෙන්න තිබියදී බවද පැවසේ.

ජනප්‍රිය පාසල්වල විදුහල්පති පුරප්පාඩු ඉල්ලුම්කර තිබී ඇති අතර ඒ අනුව වතුහේවා මහතා ඔහුගේ පළමු ඉල්ලුම ලෙස කොළඹ නාලන්දා විදුහලත්, දෙවැනි ඉල්ලුම ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහලත් ඉල්ලුම්කර තිබේ.

ඒ අනුව අධ්‍යාපන බලධාරීන් නාලන්දා විදුහල්පති ධූරය පුරප්පාඩු කරමින් වතුහේවා මහතා ගාල්ල රිච්මන්ඩ් විදුහල වෙත මාරුකර තිබේ.

නාලන්දා විදුහලේ විදුහල්පති පුරප්පාඩුවට යොමුකිරීමට සැරසෙන්නේ වසරකින් විශ්‍රමයාමට නියමිත විදුහල්පතිවරයෙක් බවද මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

සබැඳි පුවත්
නාලන්දා විදුහල්පති ඉවතට

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top