Oct 28, 2020

ලංකාව චීන ණය උගුලක පැටලී නැතියි ජනපති පොම්පියෝට කියයි Featured

බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළද එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිරව නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා හමුවේ අද (28) අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇති බවයි.

අන්තර් ජාතික සබඳතාවලදී රටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව කැප කිරීමට තමන් කිසිවිටෙක සූදානම් නැතැයි ද රාජපක්ෂ මහතා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට පවසා ඇත.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් පිළිගනු ලැබිණි.

අනතුරුව ජනාධිපතිවරයා හමුවූ රාජ්‍ය ලේකම්වරයා ද්වීපාර්ශ්වීය සාකච්ඡාවක නිරතවූහ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් බව රාජ්‍ය ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළ බවයි.

ඉන්දීය සාගර කලාපය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව බව පෙන්වාදී ඇති රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලී සබඳතා පිළිබඳව සතුට පළ කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේ ද අභිලාසය බවයි.

ශ්‍රී ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්වා ගන්නා සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛස්ථානය ගන්නා බව පෙන්වාදී තිබේ.

දෙරට අතර දිගුකාලීන ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමක් කිරීමට මෙම හමුවේදී දෙපාර්ශ්වය එකඟවී ඇති අතර මෙරට හමුදා සාමාජිකයින්ට අමෙරිකාවෙන් ලැබෙන පුහුණුව හා ද්‍රව්‍යමය ආධාර ද ඊට අයත් ය.

මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සදහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇති අතර ඊට සහයවීමට හැකි බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තිබේ.

මේ අතර මයික් පොම්පියෝ මහතා ජනාධිපතිවරයා සමග පැවති හමුවේදී ප්‍රකාශකර ඇත්තේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙන බවයි.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය සදහා විද්‍යාත්මක පර්යේෂණවලට සහය වන්නැයි ජනාධිපතිවරයා මේ හමුවේදී ඉල්ලීමක් කළ බවයි.

රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සමග කළමනාකරණය පිළිබඳ සහය රාජ්‍ය ලේකම් බ්‍රයන් බුලතාවෝ, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් සහ තානාපති අලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය ද ඇමරිකානු දූත පිරිසට ඇතුළත් වූහ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top